හිටපු ජනාධිපති ගෝඨාභයට ලලිත් - කූගන් නඩුවට අදාළව ඔන්ලයින් සාක්ෂි ලබාදීමට අවසර
ලලිත් සහ කූගන් අතුරුදන්වීමේ නඩුවට අදාළව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.
මෙම නඩුව 2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කෝපුස් පෙත්සමකට අදාළව විභාග වන්නකි.
මෙම සිදුවීම සිදුවන සමයේ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර, ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට මීට පෙර සිතාසි නිකුත් කර තිබිණි.