සියල්ල උඩු යටිකුරු කරමින් වසර 11කට පසු පැසිෆික් සාගරයේ තත්ත්වය අති බිහිසුණු වේ - එකවර සක්‍රීය සුළි කුණාටු තුනක්
ගෝලීය වශයෙන් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන එල් නිනෝ කාලගුණික සංසිද්ධිය හේතුවෙන්, වසර 11කට පසුව පැසිෆික් සාගර කලාපය තුළ එකවර සක්‍රීය සුළි කුණාටු තුනක් නිර්මාණය වී තිබේ.
මෙම අසාමාන්‍ය කුණාටු පද්ධති හේතුවෙන් ඇති වූ අධික වර්ෂාපතනය, දැඩි සුළඟ සහ මුහුද රළු වීම හමුවේ හවායි දූපත් සඳහා මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එල් නිනෝ බලපෑම නිසා චීනයට මේ වසර තුළ එල්ල වූ 7 වන සුළි කුණාටුව ලෙස සවුඩෙල් කුණාටුව එරටට දැඩි හානි සිදුකරමින් පවතින අතර, කොළොම්බියාවේ වර්ෂාපතනය සීඝ්‍රයෙන් පහත වැටීම නිසා හටගත් නියඟය හමුවේ ජනතාවට බවුසර් මඟින් ජලය සැපයීමට සිදුව ඇත.
එමෙන්ම, පවතින වියළි කාලගුණයත් සමඟ ඉන්දුනීසියාවේ සහ ස්විට්සර්ලන්තයේ වනාන්තර තුළ දැවැන්ත ලැව්ගිනි පැතිර යාමේ තත්ත්වයක් ද වාර්තා විය.
ලෝකයටම විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කළ මෙම එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක රැසකට ද දැඩි වියළි කාලගුණයක් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් පුරා පැතිර ගිය මෙම නියඟය නිසා පානීය ජලය සපයාගැනීමට නොහැකිව පවුල් 35,000කට වැඩි සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 115,534 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටින බවයි.
පීඩාවට පත් ඇතැම් ප්‍රදේශ වෙත ජල බවුසර් මඟින් පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබුණද, ප්‍රධාන ජල මූලාශ්‍ර රැසක් සම්පූර්ණයෙන්ම සිඳීයාම හේතුවෙන් ජනතාව මෙන්ම ප්‍රදේශයේ සතුන් ද දැඩි ගැටලුවකට මුහුණ දී සිටිති.
විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට මාස 4ක පමණ කාලයක සිට වැසි නොලැබීම හේතුවෙන් වැලිකන්ද ඇතුළු ප්‍රදේශ රැසක ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇත.
මෙරට ගැඹුරුම වැව ලෙස සැලකෙන පොළොන්නරුව ගිරිතලේ වැවේ ජල මට්ටම අක්කර අඩි 9,580 දක්වා පහත වැටී ඇති අතර, පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව ද සීඝ්‍රයෙන් පහත බැසීම නිසා මහා පරාක්‍රමබාහු රජ සමයේ ඉදිකරන ලදැයි සැලකෙන අතීත 'සීත මාලිගාවේ' නටඹුන් ද ජලයෙන් මතුවී තිබේ.