දිට්වා ගිහින් මාස ගාණකට පස්සේ ඇහෙන ඇඟ හිරි වැටෙන ඛේදවාචකයක් - ආපදාව මැද කරපු අහස පොළොව නුහුළන අපරාධයකට හිටපු ලොක්කෙක් අත්අඩංගුවට
හිසට පිහියකින් කොටා කාන්තාවක් ඝාතනය කර මළ සිරුර ගිනි තබා විනාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකවරයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව නාය යෑමේ අවදානම නිසා නිවැසියන්ට ඉවත් වීමට දැනුම් දී තිබූ අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණිය ඝාතනය කර පුළුස්සා ඇති අතර ඇය අවුරුදු 18-30 අතර වයසේ පසුවන තැනැත්තියක බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිදුකළ වෝහාරික වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිව ඇත.
අඳාළ මළ සිරුර හමුවූ නිවෙස සැකකරුගේ වැඩිමහල් සහෝදරයාට අයත් එකක් බව සඳහන්.
එසේම ඉකුත් දෙසැම්බර් මස 23 වැනි දින අඳාළ නිවසේ තිබී පිළිස්සුණු මළ සිරුර මුලින්ම දැක ඇත්තේ සැකකරුගේ බාල සහෝදරයෙක් විසින් බව වාර්තා වේ.
එසේ මියගොස් සිටියේ කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න පවා සොයා ගැනීමට නොහැකි සේ සිරුරු බරපතළ ආකාරයට පිළිස්සී තිබීම හේතුවෙන් පොලීසිය එම සිරුරේ කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමුකර ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇත.
එමෙන්ම මුලින් සියදිවි නසා ගැනීමක් වන්නට ඇතැයි සැක කෙරුවත් වෝහාරික වෛද්‍ය පරීක්ෂණය මඟින් මියගොස් ඇත්තේ අවුරුදු 18-30 අතර වයසේ කාන්තවක් බවත් පිළිස්සීමට පෙර ඇගේ හිසට පිහි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවටත් හෙළි වීමත් සමඟ පොලීසිය ඝාතකයා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ අනුව අංකුඹුර පොලීසියට අමතරව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන, පොලිස් පරීක්ෂක ආර්.පී වීරරත්න, උප පොලිස් පරීක්ෂක ධම්මික බෝධිපක්ෂ, පොලිස් සැරයන්වරුන් (31874) ජයවර්ධන, (60360) ධම්මික, පොලිස් කොස්තාපල් (76739) තිලකරත්න යන නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත.
අඳාළ සැකකරු විනය විරෝධී ක්‍රියා නිසා බන්ධනාගාර සේවයෙන් ඉවත්කර ඇති බවත් පසුව සොරකම් කිරීමේ නඩු 15කට වරදකරු වී වසර 17ක සිර දඬුවම් ලැබ 2019 වසරේදී නිදහස ලබා පැමිණ ඇති අයකු බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත.
එමෙන්ම පොලීසිය සඳහන් කළේ සැකකරුගේ බිරිඳගේ නැගණිය හා අනියම් සම්බන්ධයක් පැවැත්වීම හෙළි වීමෙන් අනතුරුව ඇය සියදිවි හානි කරගෙන ඇති බවත් පසුව ඔහු කටුගස්තොට තේක්කවත්ත ප්‍රදේශයේ කාන්තාවක් සමඟ එකට ජීවත්ව ඇති බවත් ය.
කෙසේ වෙතත් අඳාළ මළ සිරුර හමුවූ නිවෙස සැකකරුගේ වැඩිමහල් සහෝදරයාට අයිති එකක් වූ අතර ඊට පහළින් පිහිටි සැකකරුගේ නිවසටද නාය යෑමෙන් හානි සිදුව ඇත. ඒ අනුව දිට්වා සුළ කුණාටුවේ බලපෑමත් සමඟ ඔහුට නිවෙසින් ඉවත් වන මෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය දැනුම් දී තිබෙනවා.
පොලිස් පරීක්ෂක ආර්.පී වීරරත්න මහතා ඇතුළු කණ්ඩායම ප්‍රදේශයට ගොස් විමර්ශන සිදුකළ විට ඉකුත් වසරේ අගෝස්තු මස 17 වැනි දින සැකකරු එල්ල කරන ලද පිහි පහරකින් තුවාල ලත් කාන්තාවක් හමුවී ඇත.
ඒ අනුව ඝාතනයට ලක්ව තිබූ කාන්තාවගේද හිසට පිහිපහර දෙකක් එල්ල වී තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගත් විට අනාවරණය වී ඇත්තේ නිවස ගිනි ගන්නා අවස්ථාවේ සැකකරු ඒ ආසන්න ස්ථානයක සිට තිබෙන බවයි.
එමෙන්ම පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා ඇත්තේ එදින තමන් අංගොඩ ප්‍රදේශයේ සිට තිබෙන බවයි. එහෙත් ඔහු එදින දෙහිවල සිටින බවට තමන්ට පැවසූ බව ගොහාගොඩතේක්ක වත්තේ පදිංචි සැකකරුගේ අනියම් බිරිඳ පොලීසියට පවසා ඇත.
ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි පොලිසිය සඳහන් කරයි.
මේ වන විට අඳාළ සැකකරු අසනීප තත්ත්වයක් මත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය වැඩිදුරටත් වාර්තා කරයි. කෙසේ වුවත් ඝාතනයට ලක්වූ කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් හෙළිව නැත.