තත්ත්වය තවත් දරුණු අතට - මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වාර්තා කරයි ධාරිතාව ඉක්මවයි
මෙම වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 78,125 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය තහවුරු කරයි.
ඊයේ (21) දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,097 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, මැයි මාසයේදී රෝගීන් 8,590ක්, ජූනි මාසයේදී රෝගීන් 21,535ක් සහ ජූලි මාසයේ ගතවූ දින 21 තුළ පමණක් රෝගීන් 22,749ක් ලෙස වාර්තා වී ඇත.
මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මරණ 56ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයාමේ අනුපාතිකය 0.07%ක් ලෙස සටහන් වේ. පළාත් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය මුළු රෝගීන්ගෙන් 52.78%ක් එනම් රෝගීන් 41,236කි.
ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 11,950ක් (15.30%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,603ක් (8.45%) වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 16,478ක් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,540ක් වාර්තා වේ.
මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,454ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,228ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,135ක් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ තමන් අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබාගන්නා ලෙසත්, යම් උණ රෝග ලක්ෂණයක් පැවතුනහොත් වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.