ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ජීවිතෙන් සමු ගනියි
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සෝබර්ස් මහතා 1954 සහ 1974 යන කාල වකවානුව තුළ බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කරමින් ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 8,032ක් රැස් කර තිබේ.
ඊට අමතරව දඟ පන්දු මෙන්ම වේග පන්දු ද එකලෙස යැවිය හැකි අතිශය දුර්ලභ දක්ෂතාවයකින් යුක්ත වූ ඔහු ටෙස්ට් කඩුලු 235ක් දවා ගැනීමට ද සමත් විය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය අගයමින් 1975 වසරේදී ඔහු එංගලන්ත මහ රැජින අතින් නයිට් නාමයෙන් ද පිදුම් ලැබීය. ලෝක පූජිත වමත් පිතිකරුවෙකු වූ ගාෆීල්ඩ් සෝබර්ස් මහතා 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කරමින් ලෝක වාර්තාවක් පිහිටවූ අතර, එම ඉනිම වසර 36ක් පුරා ලොව ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස නොබිඳී පැවතුණි.
එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ද දීර්ඝ කාලයක් ක්‍රීඩා කළ ඔහු, 1968 වසරේදී පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එක් පන්දුවාරයක පන්දු හයටම හයේ පහරවල් 6ක් එල්ල කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් විය.
මීට අමතරව, ලෝක ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව මඟින් නම් කරන ලද 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා (Five Cricketers of the Century) අතරට ද මෙම අසහාය ක්‍රීඩකයා ඇතුළත් විය.