ආයේ මේ විදිහට බස් ධාවනය කළොත් වැඩ වරදියි - විශේෂ නීතියක්
ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර මගී ප්‍රවාහන සඳහා බස් රථ භාවිත කරන බවට පොලීසිය වෙත මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඒ අනුව මෙරට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව භූමිතෙල් භාවිත කර ධාවනය කරන බස් රථ 100ක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවය.
ඒ අනුව මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර අවශ්‍ය නීතිමය පියවර ගත් බවත් අදාළ බස් රථ සම්බන්ධව නඩු පැවරීමටද කටයුතු කළ බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම තවත් බස් රථ කිහිපයක ලබා ගත් සාම්පල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කළ බවත් ඒ අනුව එම බස් රථ සම්බන්ධවද නීතිමය කටයුතු සිදුකරන බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද භූමිතෙල් භාවිත කර ධාවනය කරන බස් රථ වැටලීම සඳහා මෙහෙයුම් තවදුරටත් දියත් කරමින් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව සියලු පොලිස් ස්ථාන වෙත මේ සම්බන්ධව දැනුවත් කර අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇති බවද පැවසුවේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ද යම් පාර්ශ්වයන් අනවශ්‍ය ලෙස බූලි සඳහා භූමිතෙල් රැගෙන යන්නේ නම් ඒ සම්බන්ධව විමසිලිමත් වන ලෙසත් දැන්වූ ඒ මහතා බස් රථ සඳහා භූමිතෙල් නිකුත් කිරීමෙන් වළකින ලෙසද දැනුවත් කළේය.