වෘත්තීය අධ්‍යාපන හදාරන ඔබට සුබම සුබ පණිවිඩයක් - රජයෙන් කරන්න යන දේ මෙන්න

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 වසරේ අයවැය ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවට අද (17) පෙරවරුවේ එක්වෙමිනි.

2026 වසරේ අයවැයෙන් මෙම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එයින් සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 160ක් ද, උසස් අධ්‍යාපනයට බිලියන 122ක් සහ වෘත්තීය අධ්‍යාපනයට බිලියන 20ක් වශයෙන් වෙන් කර තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ පමණින් ඒවා වියදම් නොකර, ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගෙන ප්‍රතිපාදන යෙදවීමේ අවශ්‍යතාව පවතින බවය.

වෘත්තීය අධ්‍යාපනය සඳහා මෙතෙක් වෙන් කෙරුණු වැඩිම ප්‍රාග්ධන වියදම වන රුපියල් බිලියන 08ක් මේ වසරේ වෙන් කර ඇති අතර, රජය යටතේ ක්‍රියාත්මක වෘත්තීය පුහුණු ආයතන 310ක් සඳහා පසුගිය කාර්තු දෙක තුළ සිසුන් 57,959ක් බඳවාගෙන ඇති බව සාකච්ඡාවේදී අනාවරණය විය.

ඒ අනුව වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද, සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථීර භූමියක් ලබා දීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

තවද වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම ලබන වසරේ සිට ක්‍රමයෙන් වැඩි කිරීමටත්, දිවයින පුරා පවතින යුනිවර්සිටි කොලේජ් සංඛ්‍යාව සහ ගුණාත්මකභාවය ඉහළ නංවමින් කලාපීය මට්ටමින් සිසුන්ට තාක්ෂණික උපාධි හා ඩිප්ලෝමා ලබා ගැනීමට පහසුකම් සැලසීමටත් සාකච්ඡා කෙරිණි.

විදේශ ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා හුදු ණය බරක් කර නොගෙන, මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූලව සහ අවශ්‍යතා මත පමණක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන්වල උපයෝගීතාව අනුව ප්‍රතිලාභ හිමිවිය යුතු අයටම ඒවා ලබා දීම සඳහා ප්‍රමුඛතා සකස් කරගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා, ශිෂ්‍යාධාර වැඩසටහන් සඳහා ජනාධිපති අරමුදල සූදානමින් සිටින බැවින් එවැනි අවශ්‍යතා පිළිබඳ යෝජනාවක් සකස් කර යොමු කරන ලෙස උපදෙස් දුන්නේය.

2026 වසරේ සිට විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසිකව ලබා දෙන ආධාර මුදල් ප්‍රමාණය වැඩි කිරීමටත්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශිෂ්‍ය ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර දැනට ක්‍රියාත්මක සිසු රක්ෂණ ක්‍රමයේ පවතින ගැටලු පිළිබඳව ද නිලධාරීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.

2027 වසරේ සිට 2031 දක්වා කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් රුපියල් බිලියන 382ක විශාල ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ යෝජිත ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

මීට අමතරව "දිට්වා" සුළි කුණාටුවෙන් හානියට පත් වූ පාසල් 20ක් සහ විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 1.9ක ප්‍රතිපාදන වෙන් කර වැඩ ආරම්භ කර ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය මෙන්ම වැටුප් විෂමතා පිළිබඳව සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ඉදිරියේදී සාකච්ඡා කිරීමටත්, ඒ වෙනුවෙන් විශේෂ කොමිෂන් සභාවක් මගින් ස්ථිර විසඳුම් ලබා දීමටත් සාකච්ඡාවේදී එකඟතාව පළ විය.