අබිරහසක් ඉතිරි කරමින් මිය ගිය හිටපු පොලිස්පතිගේ මරණ පරීක්ෂණය ගැන විශේෂ තීරණයක්
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ බරපතළ වෙඩි වැදීමකින් සිදු වූ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාළඹේ පොලිසිය ඒකාබද්ධව පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඒ මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දැනට නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවයි.
අද (17) උදෑසන මාළඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ඔහු සිය නිවසේදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය මුලින් ප්‍රකාශ කර තිබුණි.
අද පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලද අතර, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එම අවස්ථාවට එක් විය.
මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් හා විද්‍යාත්මක විමර්ශනයක් සිදු කර එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට නිල වශයෙන් නියෝග කළේය.
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය. 1986 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඒ මහතා, 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.
අනතුරුව ඔහු 2020 වසරේ නොවැම්බර් මස 27 වැනිදා ස්ථීර පොලිස්පති ධුරයට පත් කරන ලදී. සී.ඩී. වික්‍රමරත්න මහතා 2023 වසරේ මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයකදීම ලබාදුන් සේවා දිගුවන් හේතුවෙන් තවත් මාස 8කට ආසන්න කාලයක් ධුරයේ කටයුතු කර 2023 නොවැම්බර් මස 23 වැනිදා පොලිස් සේවයෙන් නිල වශයෙන් විශ්‍රාම ගත්තේය.