ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනැගීම සඳහා මානව ප්රාග්ධනයේ ආයෝජනය අත්‍යවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික පරිවර්තනය සඳහා මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීම, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ සහයෝගී නායකත්වය අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්‍රී ලංකා මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය (AHRP) සිය 25 වන සංවත්සර සැමරුමට සහභාගීවෙමින් ජූලි 16 වන දින කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) හෝටලයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
AHRP සංගමය පසුගිය වසර 25 තුළ ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගය කළ යුතුයි.විශ්වාසය යළි ගොඩනැගීම සහ ආයතන ශක්තිමත් කිරීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති නමුත්, තිරසාර ජාතික සංවර්ධනය සඳහා තරඟකාරීත්වය, නවෝත්පාදනය, ඵලදායීතාව, පාරිසරික වගකීම සහ සියලු දෙනාම ඇතුළත් වන වර්ධනය කේන්ද්‍ර කරගත් පුළුල් දැක්මක් අවශ්‍යයි. රටේ විශාලතම තරඟකාරී වාසිය පවතින්නේ ස්වභාවික සම්පත් හෝ මූල්‍ය ප්රාග්ධනය තුළ නොව, ජනතාවගේ දැනුම, කුසලතා, නිර්මාණශීලීත්වය, අභියෝග ජය ගැනීමේ හැකියාව සහ සදාචාරාත්මක වටිනාකම් තුළයි.අපගේ ආර්ථිකයේ අනාගත ශක්තිය තීරණය වන්නේ අපේ ජනතාව දන්නා දේ, වෙනස්වීම්වලට ඔවුන් හැඩගැසෙන ආකාරය සහ එකිනෙකා සමඟ කාර්යක්ෂමව සහයෝගයෙන් කටයුතු කරන ආකාරය මතයි, මානව සම්පත් සංවර්ධනය ජාතික ප්‍රමුඛතාවයක්, අධ්‍යාපනය සහ ශ්‍රම බලකා සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටිනවා. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, කර්මාන්ත ක්ෂේත්රය සහ රැකියා අවශ්‍යතා අතර වඩාත් සමීප සම්බන්ධතාවයක් ගොඩනැගීමත් අවශ්‍යයි.ඩිජිටල් සාක්ෂරතාව, තාක්ෂණික අධ්‍යාපනය, ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථා සහ අඛණ්ඩව නව කුසලතා ලබාදීම හා පවතින කුසලතා වැඩිදියුණු කිරීම තුළින් වේගයෙන් වෙනස් වන තාක්ෂණයන්ට සහ ශ්‍රම වෙළඳපොළේ නව අවශ්‍යතාවන්ට ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය සූදානම් කළ යුතුව තිබෙනවා.
රජය, අධ්‍යාපන ආයතන, සේවා යෝජකයන්, සංවර්ධන හවුල්කරුවන්, කර්මාන්ත සංගම් සහ සිවිල් සමාජය යන සියලු පාර්ශ්වයන්ට රටේ මානව ප්රාග්ධනය ශක්තිමත් කිරීමේ වැදගත් වගකීමක් මානව සම්පත් කළමනාකරණය පරිපාලනමය කාර්යභාරයකින් උපායමාර්ගික වෘත්තියක් බවට පරිවර්තනය කිරීම සඳහා AHRP සංගමය ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව තුළ ආයතනික කාර්යසාධනය, ඵලදායීතාව සහ වෘත්තීය ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා එම සංගමය ඉටු කළ කාර්යභාරයද ප්‍රශංසාවට ලක් කළාය. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, සංගමයේ සභාපති තුෂාර ජයවර්ධන මහතා, සංගමයේ සාමාජිකයන්, විශේෂ ආරාධිතයන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය