සංචාරක කර්මාන්තයට ආබාධ ප්‍රජාව එක්කරන සැලැස්මක් - අයවැය යෝජනා ජනාධිපති ලේකම්ට භාර දෙයි
ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ආබාධිත සිවිල් ප්‍රජාව එක්ව සකස් කළ අයවැය යෝජනාවලියක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදී තිබේ.
ප්‍රමුඛ ක්ෂේත්‍ර 6ක් යටතේ සකස් කළ මෙම යෝජනාවලිය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දී ඇත. ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් අයවැයෙන් වැඩි අවධානයක් යොමු කිරීම, වැඩි ප්‍රතිපාදන වෙන් කිරීම සහ ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස රජයට ස්තුතිය පළ කර තිබේ.
ආබාධ සහිත පුද්ගලයින් සමාජයේ සමාන කොටස්කරුවන් බවට පත් කිරීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම අවශ්‍ය බව ආබාධ සහිත ප්‍රජාව සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
‘එක්ව අත්නොහැර’ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව මෙම අයවැය යෝජනා සකස් කළ බවද ඔහු පැවසීය. සංචාරක කර්මාන්තය තුළ ආබාධ සහිත ප්‍රජාවේ සහභාගීත්වය ඉහළ නැංවීම සහ ප්‍රවේශ පහසුකම් වැඩි කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
සාම්ප්‍රදායික පුහුණු ක්‍රම මගින් ආබාධ සහිත පුද්ගලයින් සඳහා විවෘත රැකියා වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් අවස්ථා නිර්මාණය නොවන බවද මෙහිදී අවධාරණය කර ඇත. ආබාධ සහිත ප්‍රජාව සමාජයේ සමාන කොටස්කරුවන් බවට පත් කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ සහ නියෝග නිකුත් කිරීමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.