'ටැටූ' කෙටිල්ල ගැන ආපු අලුත්ම නීතිය ගැන දැනුවත් කිරීමක්
වෛද්‍ය වෘත්තිකයන් නොවන පුද්ගලයින්ට, පච්ච කෙටීමේ ශිල්පීන් වශයෙන් කටයුතු කළ හැකි වන පරිදි දකුණු කොරියාවේ නීති සකස් කිරීමට පියවර ගෙන ඇත. මෙම පියවර ගෙන ඇත්තේ වසර 30කට අධික කාලයකට අනතුරුවයි.
එසේම මෙසේ තීරණය කර තිබුණේ පච්ච කෙටීමේ ශිල්පීන්ට නඩු පැවරීමේ හෝ හිරිහැර ඇතිවේ යැයි බියකින් තොරව වැඩ කිරීමට ඉඩදෙන ලෙස ඉල්ලා, අඳාළ වෘත්තිකයන් විසින් දියත් කරන ලද ව්‍යාපාරයකින් පසුව බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර ආසියානු රටවල පච්ච කෙටීම සාමාන්‍ය වුවත් 1992 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අනතුරුව එම සේවාව කිරීමට ඉඩ ලැබුණේ වෛද්‍ය වෘත්තිකයන්ට පමණයි.
එසේ වුවත් ඉකුත් බ්‍රහස්පතින්දා මහා මණ්ඩලයේදී 'Tattooist Act' පනත සම්මත වීමෙන් අනතුරුව කර්මාන්තයේ බහුතරය වන වෛද්‍ය නොවන වෘත්තිකයන්ට බලපත්‍ර ලබාගැනීමට හැකියාව ලැබී ඇති බව සඳහන්.
1992 සිට මේ වන තෙක් වෛද්‍ය සහතික නොමැතිව පච්ච කොටන ඕනෑම අයෙකුට වසර පහක් දක්වා සිරදඬුවම් හෝ කොරියානු වොන් මිලියන 50ක් (ඇ.ඩොලර් 35,000ක්) දක්වා දඩයකට මුහුණ දීමට සිදුව තිබුණා.
එබැවින් දකුණු කොරියාවේ පච්ච ශිල්පීන්ගේ සංගමය සඳහන් කරන්නේ ඔවුන්ට සෑම වසරකම අවම ලෙස පච්ච ශිල්පීන් 50 දෙනෙකුට නීතිමය සහාය ලබාදීමට සිදුවන බවයි.
මේ අතර දකුණු කොරියාවේ සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශයට අනුව, 2021 වන විට එරට ඇස්තමේන්තුගත පච්ච ශිල්පීන් 350,000 ක් පමණ සිට ඇත.
ඉන් බොහෝ දෙනෙක් තොල්, ඇහි බැම හෝ හිසකෙස් රේඛා සඳහා අර්ධ-ස්ථර වේශ නිරූපණයන් සඳහා විශේෂීකරණය වූ අය බව සඳහන්. එමෙන්ම මෙම ශිල්පීන්ගෙන් බහුතරයකට වෛද්‍ය සුදුසුකම් නැති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ලෝකයේ වෙනත් තැන්වල මෙන්ම කලාව හෝ රූපලාවන්‍ය යන පසුබිම්වලින් පැමිණෙන අය වේ.
ඊට අමතරව නීතිවිරෝධී කටයුත්තක නිරත වීම හේතුවෙන් දකුණු කොරියාවේ පච්ච ශිල්පීන් තර්ජනවලට හෝ අතෘප්තිමත් ගනුදෙනුකරුවන් විසින් නිරන්තර චෝදනාවන්ට සහ වාර්තා කිරීම්වලට ලක්ව ඇත.
උදාහරණයක් වශයෙන් තමා කොටාගත් පච්චය බොඳ වී ඇති බවට පදනම් විරහිතව චෝදනා කළ සේවාදායකයෙකු බනුල් නම් ශිල්පියෙකුට විරුද්ධව පොලිසියට වාර්තා කර තිබූ අතර ඔහු වොන් මිලියන පහක් ($3,500; £2,800) වන්දි වශයෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නව පනත සම්මත වීමෙන් අනතුරුව කොරියානු පච්ච සම්මේලනයේ සභාපති ලිම් බෝ-රාන් සංවේදීව මෙය "සිහිනයක් ලෙස දැනෙන" බව කියමින් තම කෘතඥතාව පළ කර ඇත.
එසේම නීතියේ ප්‍රධාන නීති සම්පාදකයා වූ ජාතික සභාවේ සෞඛ්‍ය හා සුබසාධන කමිටුවේ සභාපති පාර්ක් ජූ-මින් කියා ඇත්තේ මෙම පනත මගින් පුරවැසියන්ට ආරක්ෂිතව පච්ච කොටාගැනීමටත්, එම කර්මාන්තයේ නියැලෙන්නන්ට නීත්‍යානුකූල වෘත්තිකයන් වශයෙන් පිළිගැනීමටත් ඉඩ සැලසෙන බවයි.
පහුගිය වසරවලදී දකුණු කොරියානු අධිකරණ කිහිප වතාවක්ම පච්ච කලාකරුවන් නිදොස් කොට නිදහස් කිරීම තුළින් ආකල්පවල වෙනසක් පෙන්නුම් කර ඇත.
එසේ වුවද මෙම නීති වෙනස් කිරීමට දකුණු කොරියාවේ වෛද්‍ය ප්‍රජාව විරෝධය පළකර ඇත. ඒ අනුව කොරියානු වෛද්‍ය සංගමය පච්ච කොටා ගැනීම ‘සමට හානි කිරීම පමණක් නොව, පිළිකා හඳුනාගැනීමට බාධා කිරීම ඇතුළු වෙනත් සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි’ බව සඳහන් කළා.
එසේම ඔවුන් තවදුරටත් අවධාරණය කළේ, "පච්ච කොටා ගැනීම මූලික වශයෙන් වෛද්‍ය ක්‍රියා පටිපාටියක් වන අතර, එහි ජනප්‍රියතාවය වැඩිවීම තුළින් සිදුවන සෙසු අවදානම් අඩු නොකරන" බවයි.
මේ අතර මෙම නව නීතිය කඩිනමින් ක්‍රියාත්මක නොවන අතර එය වසර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.
එසේම එරට වාර්තා වල දැක්වෙන්නේ පච්ච ශිල්පීන්ට ජාතික විභාගයකින් සමත් වීමටත්, ආරක්ෂක සහ සනීපාරක්ෂක පුහුණුව සම්පූර්ණ කිරීමටත්, සවිස්තරාත්මක වාර්තා තබාගැනීමටත් සිදුවන බවයි.
තවද ලේසර් භාවිතයෙන් සිදු කරන පච්ච ඉවත්කිරීම් තවදුරටත් වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් සීමා වන බව සඳහන්.
මේ සියල්ල මැද මෑත කලකදී කළ මත විමසුම්වලින් බහුතරයක් දකුණු කොරියානුවන් තවමත් ‘පච්ච’ සෘණාත්මකව දකින බව පෙනීගොස් ඇත.