''මියගිය පැටවා අත්නොහැර හොඬයෙන් රැගෙන ගිය ඇතින්න'' - ලොවම සංවේදී කළ නැමීබියාවේ හුවාබ් ගංගා නිම්නයේදී සම්මානනීය ඡායාරූපය
මවකගේ ආදරය සහ අහිමිවීමේ වේදනාව සිහිගන්වන සංවේදී දසුනක් කැමරාවට හසු කරගැනීමට වනජීවී ඡායාරූප ශිල්පියෙකු සමත් වී තිබේ.
ඒ, මියගිය තම පැටවා හොඬයෙන් සහ දළ අතර රඳවාගෙන සිටින ඇතින්නකගේ දසුනකි.
මෙම ඡායාරූපය 2026 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තරගයේ ප්රධාන සම්මානය දිනාගැනීමත් සමඟ ලොව පුරා අවධානයට ලක්ව තිබේ.
ඉතාලි ජාතික වනජීවී ඡායාරූප ශිල්පී ෆෙඩෙරිකෝ වෙරෝනේසි විසින් මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ නැමීබියාවේ හුවාබ් ගංගා නිම්නයේදීය. වියළි ගංගා පතුලේ වැලි මත දක්නට ලැබුණු සලකුණු ඔස්සේ ගමන් කළ ඔහුට අලි රංචුවක් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.
එම අලි රංචුව අතර සිටි ඇතින්නක මියගිය තම පැටවා හොඬයෙන් සහ දළ අතර රඳවාගෙන සිටින අයුරු ඔහුගේ කැමරාවට හසු වී ඇත.
මෙම ඡායාරූපය ‘The Aftermath’ ලෙස නම් කර තිබේ. අලි ඇතුන් යනු සංකීර්ණ සමාජ හැසිරීම් සහිත සතුන් වන අතර, මියගිය සතුන්ගේ සිරුරු අසල රැඳී සිටීම, ඒවා හොඬයෙන් ස්පර්ශ කිරීම සහ පරීක්ෂා කිරීම වැනි හැසිරීම් ඔවුන් අතර නිරීක්ෂණය කර තිබේ.
එවැනි හැසිරීම් නිසා අලි ඇතුන්ගේ ශෝකය සහ තම රංචුවේ සාමාජිකයන් සමඟ පවතින බැඳීම් පිළිබඳව විද්යාඥයන්ගේද අවධානය යොමු වී ඇත.
කෙසේ වෙතත්, මෙම එක් ඡායාරූපයකින් පමණක් ඇතින්නගේ හැඟීම් නිශ්චිතව තීරණය කළ නොහැකි වුවද, එම දසුන අලි ඇතුන්ගේ ජීවිතවල සංවේදී පැතිකඩක් පිළිබඳව සිතා බැලීමට අවස්ථාවක් ලබා දෙයි.
වනජීවී ඡායාරූප ශිල්පියා තරගයේ මෙවර ප්රධාන සම්මානය දිනාගත් මෙම ඡායාරූපය, වන සතුන්ගේ ජීවිතවල අප බොහෝ විට නොදකින අවස්ථා ලෝකයට හෙළි කරන සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.