පුස්තකාලයට හොරෙන් ඇතුළු වූ වලසා කළ පුදුම වැඩේ මෙන්න - කැලිෆෝනියාවෙන් අපූරු සිදුවීමක්
ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ පුස්තකාලයකට අලුයම ඇතුළු වූ කළු වලසෙකු එහි ආහාර සොයමින් ඇවිද යන ආකාරය ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී තිබෙනවා. මෙම අසාමාන්ය සිදුවීම ඔක්තෝබර් 14 වැනිදා Mammoth Lakes නගරයේ පිහිටි Mammoth Lakes පුස්තකාලයේදී සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
පුස්තකාල අධ්යක්ෂ ජෝසෆ් බොප්ට අනුව, උදෑසන 6.10ට පමණ එම වලසා ගොඩනැගිල්ලට ඇතුළු වී තිබෙනවා. ඒ වන විට පුස්තකාලය මහජනතාව සඳහා විවෘත කර නොතිබූ අතර, එය විවෘත කිරීමට නියමිතව තිබුණේ උදෑසන 10ටයි.
පුස්තකාල බලධාරීන් විසින් සමාජ මාධ්යයට එක්කර තිබූ ආරක්ෂක කැමරා දර්ශනවලින් දැකගත හැකි වන්නේ, වලසා ගොඩනැගිල්ලේ ඇතුළත ඇවිදිමින් ආහාර සොයන ආකාරයයි.
එහිදී කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර තිබූ ආහාර අතරින් රටකජු බටර්, පීච් පලතුරු කෝප්ප, බිස්කට් සහ මී පැණි බඳුනක් ද වලසා විසින් ආහාරයට ගෙන තිබෙනවා. අනතුරුව එය පුස්තකාලයේ පොත් රාක්ක සහ යොමු අංශය ආසන්නයේ ද ඇවිදිමින් සිට ඇති බව සඳහන්.
විශේෂත්වය වන්නේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ප්රකට ළමා කතා චරිතයක් වන විනී ද පූගේ පළමු කෘතිය ප්රකාශයට පත් කර වසර 100ක් සපිරුණු දිනයේදී වීමයි.
මී පැණි කෑමට ප්රිය කරන විනී ද පූ චරිතය සිහිපත් කරමින් පුස්තකාල බලධාරීන් මෙම වලසාට හාස්යජනක ලෙස “අලුත් පුස්තකාලයාධිපති” යන අර්ථය දෙන නමක් ද පටබැඳ තිබෙනවා.
කෙසේ වෙතත්, එම වලසා පුස්තකාලයට ඇතුළු වූ ආකාරය තවමත් පැහැදිලි වී නැහැ. වාසනාවකට මෙන් එම සිදුවීමෙන් පුස්තකාලයේ පොත්වලට හෝ දේපළවලට හානියක් සිදුව නොමැති අතර, සේවකයන් පැමිණීමට පෙර වලසාම ගොඩනැගිල්ලෙන් පිටව ගොස් තිබෙනවා.
මේ අතර, වලසුන් වැනි වන සතුන් සමඟ කටයුතු කිරීමේදී ආරක්ෂිත දුරක් පවත්වාගන්නා ලෙසත්, ඔවුන්ට ආහාර ලබාදීමෙන් වළකින ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා.