ආයෙත් ට්‍රම්ප්ගෙන් 50%ක බද්ධක්
යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ අනුව එළැඹෙන 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුරෝපා සංගමය පිහිටුවා ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් වාසි ලබා ගැනීස සඳහා වන බවය. එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමටද අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. එමගින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ විකුණනු ලබන අයිෆෝන් ඉන්දියාවේ හෝ වෙනත් ඕනෑම තැනක නිෂ්පාදනය කිරීම නොව එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරට බලයට පත්වූ පසු ලොව පුරා රටවල් රැසකට විවිධ තීරුබදු පැනවීමට කටයුතු කළ අතර එමගින් ඔහු දක්වා ඇත්තේ එය එක්සත් ජනපද නිෂ්පාදන ඉහළ නැංවීමේ සහ විදේශීය තරඟකාරිත්වයෙන් එක්සත් ජනපදයේ රැකියා ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙස තමන් දකින බවය.
