මෙතන ඇති ටෙන්ඩර් මගඩියක් නෑ - ආන්දෝලනාත්මක ගල් අඟුරු ගැන අනිල්ගෙන් අලුත් කතාවක්
වර්තමාන රජය යටතේ සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, අතිශය විනිවිදභාවයකින් යුතුව සිදු කර ඇති බවට මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කර ඇත.
ඒ අනුව ඉකුත් පාලන සමයන්හිදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කැබිනට් පත්‍රිකා මඟින් හිතුමනාපයට ටෙන්ඩර් ලබාදුන්නද, මෙවර විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ වැඩිම ලංසුකරුවන් පිරිසක් අතරින් සුදුසුම පාර්ශවයන් තෝරාගත් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එසේම ගිවිසුමට අනුව ගල් අඟුරුවල ගුණාත්මකභාවය හෙවත් කැලරි වටිනාකම ඒවා පටවන අවස්ථාවේදී සහ ගොඩබාන අවස්ථාවේදී පරීක්ෂා කිරීම අනිවාර්ය බවත් ඔහු පැවසුවා.
එහෙත් මෙරටට පැමිණි පළමු ගල් අඟුරු නැව ගොඩබාන අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලින් එහි ප්‍රමිතිය නියමිත මට්ටමට වඩා අඩු බව අනාවරණය විය.
''ගල්අඟුරු ගැටලුව දිගටම අරන් යන්නේ මාධ්‍ය නාළිකා කිහිපයක් විතරයි, ඔවුන්ගේ බොරුවට වැඩි ආයුෂ නෑ '' ඇමති ප්‍රසන්නගෙන් චෝදනා
ඒ අනුව ඉන්දියානු ආයතනයක් මඟින් ලබාදුන් මෙම වාර්තාවල පරස්පරතාවය නිසා වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්, සිදුවූ අලාභය මෙන් දෙගුණයකටත් වඩා වැඩි දඩ මුදලක් අය කර ගැනීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම ඔහු තහවුරු කළේ මෙම ක්‍රියාවලිය හරහා රජයට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදුවී නොමැති බවයි.
ඊට අමතරව ප්‍රමිති වාර්තාවල සිදුවූ මෙම වෙනස්කම් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය තුළ දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළි කළා.
එහිදී යම් නිලධාරියෙකු හෝ වෙනත් කණ්ඩායමක් වංචනික ආකාරයට වාර්තා වෙනස් කිරීමට මැදිහත් වී ඇති බවට තහවුරු වුවහොත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා.
එමෙන්ම මෙය කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සහිත ටෙන්ඩර් මගඩියක් නොවන බවත්, පවතින නීතිමය රාමුව තුළ උපරිම විනිවිදභාවයෙන් කටයුතු කර ඇති බවත් අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළා.