ගල්කිස්ස ගැටුමකින් තරුණයෙකු මරුට
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී ඊයේ (01) සවස් කාලයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇත.
තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ලුනාව රෝහලට ඇතුළත් කර තිබූ අතර, එක් පුද්ගලයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළේය. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 28ක අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධ භාවිත කරමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ගල්කිස්ස පොලිසිය විසින් මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් යෙදවූ බවත්, වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවත් පොලිස් බලධාරීහු පවසති.
