මට අත් දෙක දික් කරන්න ඕනේ ඒත් මේ වෙලාවේ බෑ..අවුරුදු 33ට පස්සේ ලැබුණු පළවෙනි ජාතික සම්මානය ගන්න තුවාල පිටින් ගිය ෂාරුක් ඛාන්[VIDEO]
වසර තිස් තුනක සිනමා දිවිය තුළ පළමු වරට ජාතික සම්මානයකින් පිදුම් ලැබීමට බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමත්වී ඇති බව වාර්තා වේ.
ඒ 2023 වසරේදී තිරගත වූ අට්ලී විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ජවාන්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන්.
මෙහිදී ඔහුට හොඳම නළුවාට හිමි ජාතික සම්මානය හිමි වූ බව සඳහන්.
මෙහි ඇති විශේෂත්වය නම් විධු විනෝද් චොප්රාගේ '12th Fail' චිත්‍රපටයේ රංගනයට එම සම්මානයට පාත්‍ර වූ වික්‍රාන්ත් මැසී සමග ෂාරුක් ඛාන් මෙම සම්මානය සමව බෙදා ගැනීමයි.
කෙසේ වෙතත් සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව ෂාරුක් ඛාන් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ඔහුගේ අතක ප්ලාස්ටරයක් යොදා ඇති අයුරු දැකගත හැකි වුණා.
ඒ අනුව අඳාළ වීඩියෝව චිත්‍රපට රූගත කිරීමකදී තුවාලවීමෙන් පසු ඇමරිකාවේ ප්‍රතිකාර ලැබීම් අතරතුර දී නිකුත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර ෂාරුක් ඛාන් වීඩියෝවෙන් ඉන්දීය රජයට, ජූරි සභාවට, සිය කණ්ඩායමට, රසිකයින්ට සහ පවුලේ අයට සිය ස්තූතිය පුද කර ඇත.
එහි සඳහන් වූයේ, "මා තුළ ඇත්තේ කෘතඥතාව සහ නිහතමානීත්වය බව කිව යුතුමයි. ජාතික සම්මානයකින් පිදුම් ලැබීම මා ජීවිත කාලය පුරාම සුරක්ෂිතව තබාගන්නා මතකයක්. මෙම ගෞරවයට මා සුදුසු යැයි සිතූ ජූරි සභාවට, සභාපතිවරයාට සහ තොරතුරු හා විකාශන අමාත්‍යාංශයට බොහොම ස්තූතියි. රාජු සර්ට, සිද්ට සහ විශේෂයෙන්ම අට්ලී සර්ටත් ඔහුගේ කණ්ඩායමටත් 'ජවාන්' චිත්‍රපටයේ අවස්ථාව ලබා දී මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන ස්තූතියි. අට්ලී සර්, ඔබ කියනවා වගේමයි, 'මාස්'. මා සමග වෙහෙස මහන්සි වී වැඩ කරන මගේ කණ්ඩායමටත්, මගේ කළමනාකාරීත්වයටත් මා ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මගේ නොඉවසිලිමත්කම ඉවසා දරාගෙන, ඔවුන්ගේ පූර්ණ අවධානය මට ලබා දෙනවා. මෙම සම්මානය, ඔවුන්ගේ ශක්තිය සහ ආදරය නොමැතිව කිසිසේත්ම දිනාගත නොහැකියි. ඔබ කරන සෑම දෙයකටම බොහොම ස්තූතියි. මගේ බිරිඳ සහ දරුවන්, පසුගිය වසර කිහිපය තුළ නිවසේ දරුවෙකුට මෙන් මට ආදරය සහ සැලකිල්ල ලබා දුන්නා. සිනමාව කෙරෙහි ඇති මගේ ආශාව ඔවුන්ගෙන් මා ඈත් කරන බව ඔවුන් දන්නවා, ඒ නිසා ඒ සියල්ලටම ස්තූතියි."
මෙහිදී මෙම ජාතික සම්මානය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව තමා කරන කාර්යය වැදගත් බවට ලැබුණු මතක් කිරීමක් බවද පැවසූ ඔහු "එය මට පවසනවා, දිගටම ඉදිරියට යන්න, වෙහෙස මහන්සි වෙන්න, නිර්මාණය කරන්න සහ සේවය කරන්න කියා. රංගනය යනු රැකියාවක් පමණක් නොව, තිරය මත සත්‍යය පෙන්වීමේ වගකීමක් බව මෙම ගෞරවය මට සිහිපත් කරනවා. සැමගේ ආදරයට මම බෙහෙවින් කෘතඥ වෙනවා" යනුවෙන් සඳහන් කර තිබෙනවා.
එසේම තම රසිකයින් ඇමතූ ඔහු, "ඔබගේ සියලු ප්‍රීති ඝෝෂා වලට, කඳුළු වලට සහ ඔබගේ සමාජ මාධ්‍ය අනුචලනය අතරතුර මා නැරඹීමට මොහොතක් නැවතීම ගැන ස්තූතියි. මෙම සම්මානය ඔබ වෙනුවෙන්. මගේ ආදරය ප්‍රකාශ කිරීමට දෑත් විදහා පෑමට අවශ්‍ය වුවත්, මේ මොහොතේ එය කළ නොහැකියි. නමුත් කමක් නැහැ, පොප්කෝන් සූදානම් කරගන්න, මම ඉක්මනින්ම සිනමාහල් වලටත් තිරයටත් නැවත එනවා. එතෙක් එක අතකින් මම එය කරන්නම්... රෙඩී..." යනුවෙන් පවසමින් සිය සුප්‍රසිද්ධ ඉරියව්ව එක් අතකින් රඟ දක්වා තිබෙනවා.





