හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත මහතා පවසනවා.
ඊයේ (11) රාත්‍රී 9 වන විට දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 54 ක් වශයෙන් සදහන්ව තිබූ බව සදහන් කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා , පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවයි දැනුම්දී ඇත්තේ.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටව පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර අද(12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම්දී තිබේ.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු, කැළණි, ගිං සහ අත්තනගලු ගංගා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි.