JVP ප්‍රධාන කාර්යාලයේදී චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර හදිසි හමුවක් - චීන කොමියුනිස්ට් පක්ෂයෙන් විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට
ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක් අද (05) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබේ.
මෙම හමුවේදී චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරයේදී පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ හා දැඩි පක්ෂ ස්වයං විනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පක්ෂය ගොඩනැගීම සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව චීන තානාපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර දැනුවත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ කර ඇත.
එම නියෝජිත පිරිසගේ සංචාරය අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දැනුවත් කිරීමටද අපේක්ෂා කරන බව සඳහන් වේ.
මේ අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.
විශේෂයෙන් ආයෝජන, තාක්ෂණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සමූපකාර කටයුතු, වෛද්‍ය ක්ෂේත්රය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගිතාව ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට චීනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් චීනය ලබාදී ඇති සහයෝගය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චීන රජයට ස්තුතිය පළ කර ඇත.
තවද ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින සබඳතා මෙන්ම පක්ෂය ගොඩනැගීම සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය සතු අත්දැකීම්වල වැදගත්කම පිළිබඳවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් පළ කර තිබේ.
ඒ අනුව දෙරට අතර පවතින දේශපාලන, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු වී ඇත.