ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධි අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු එළැඹෙන නොවැම්බර් 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් 1 වැනි සහ 8 වැනි සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අතර, අදාළ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහි විරෝධතා අද දින ගොනු කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
ආනයන හා අපනයන කටයුතුවලට අදාළ අවසන් තක්සේරු වාර්තා, බැංකු නිලධාරීන් සහ අදාළ සමාගම් අතර පවතින සම්බන්ධතා මෙන්ම සමාගම් ආරම්භ කිරීමට දායක වූ පුද්ගලයින්ගේ ප්‍රකාශ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරීහු මෙහිදී පැවසූහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප නියෝගය ලබන 12 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නියම කළේය.