කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වී අතවර කිරීමට තැත් කළ පී.සී ගේ වැඩ තහනම්
මකුලුගස්වැව පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වී අතවර කිරීමට තැත් කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් පාලනාධිකාරිය අද (17) පියවර ගෙන තිබේ.
පසුගිය (15) වැනි දින දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සන්දර්ශනයක රාජකාරි නිමවා මකුලුගස්වැව පොලිස් ස්ථානය වෙත පැමිණි සැකකාර පොලිස් කොස්තාපල්වරයා, එහි පුටුවක් මත වාඩි වී සිටි අදාළ කාන්තා නිලධාරිනිය දැක ඇයගේ උකුළ මත බලහත්කාරයෙන් වාඩි වීමට උත්සාහ කර ඇත.
මෙම අශෝභන සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ කාන්තා පොලිස් නිලධාරිනිය, මකුලුගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා (ASP) වෙත පැමිණිලි කිරීමට පියවර ගත්තාය.
ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සිදුවීම වන අවස්ථාවේදී සැකකාර කොස්තාපල්වරයා දැඩි ලෙස බීමතින් පසුවී ඇති බවයි.
රාජකාරි වේලාව තුළ බීමතින් පසුවීම සහ කාන්තා පොලිස් නිලධාරිනියකට අතවර කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ සිදුකළ විමර්ශනයෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබේ.