''මෙසී කරමින් සිටින දෙය අසාමාන්‍ය දෙයක්'' - මෙසී වෙනුවෙන් ශකීරාගෙන් සමාජ මාධ්‍ය සංවේදී සටහනක්
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ආර්ජන්ටිනා නායක ලයනල් මෙසී වෙනුවෙන් ජනප්‍රිය ගායිකා ශකීරා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ සංවේදී සටහනක් සමාජ මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබේ.
එංගලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරගයේදී ගෝල 2-1ක තියුණු ජයක් හිමිකර ගනිමින් ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. පළමු භාගයේදී පසුබෑමකට ලක්වූ ආර්ජන්ටිනාව වෙනුවෙන් එන්සෝ ෆර්නැන්ඩස් සම කිරීමේ ගෝලය වාර්තා කළ අතර, තරගයේ අතිරේක කාලයේදී ලවුටාරෝ මාර්ටිනස් ජයග්‍රාහී ගෝලය ලබා දුන්නේය.
මේ අතර, තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය සඳහා ද මෙසී ප්‍රංශ නායක කිලියන් එම්බාපේ සමඟ ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස සැලකෙයි. ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ මෙසීගේ ඡායාරූපයක් පළ කළ ශකීරා, 39 හැවිරිදි වියේදීත් ඔහු දක්වන දක්ෂතා සහ කැපවීම අගය කරමින් මෙසේ සඳහන් කර තිබේ.
"ලයනල් මෙසී කරමින් සිටින දෙය අසාමාන්‍ය දෙයක්. එය කාලය සහ සියලු බාධක ජය ගනිමින් කැපවීමෙන් හා විනයෙන් කටයුතු කරන පුද්ගලයෙකුගේ වටිනාකම් පෙන්වනවා. වයස හෝ අන් අයගේ අදහස් මිනිසෙකු නිර්වචනය නොකරන බව ඔහු යළිත් ඔප්පු කරනවා."
එමෙන්ම, මෙසීගේ බිරිඳ වන ඇන්ටොනෙලා රොකුසෝ ද ඔහුගේ සාර්ථකත්වයට විශාල ශක්තියක් සහ ආශ්වාදයක් ලබාදෙන බවද ශකීරා සිය සටහනේ සඳහන් කර තිබේ.
"ඇන්ටොනෙලා වැනි කාන්තාවක් ඔහු අසල සිටීම, ඔහුට එම ශක්තිය සහ ආශ්වාදය ලබාදෙන බව මම විශ්වාස කරනවා," යනුවෙන් ඇය වැඩිදුරටත් ලියා ඇත.
පසුව, ශකීරාගේ එම ඉන්ස්ටග්‍රෑම් සටහන ඇන්ටොනෙලා රොකුසෝ ද සිය ගිණුම ඔස්සේ යළි බෙදාගෙන තිබීම සමාජ මාධ්‍යවල වැඩි අවධානයක් දිනාගෙන තිබේ.
ළමා වියේ සිටම මිතුරන් වූ ලයනල් මෙසී සහ ඇන්ටොනෙලා රොකුසෝ 2017 වසරේ විවාහ වූ අතර, ඔවුන්ට පුතුන් තිදෙනෙකු සිටිති. මේ අතර, එංගලන්තය පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෙසී, විනිසුරු තීරණ සහ විශේෂ වාසි මත ආර්ජන්ටිනාව ජයග්‍රහණ ලබන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
"පසුගිය වසර හතර පුරාම අපි හොඳම කණ්ඩායමයි. එය කවුරුන් පිළිගත්තත් නැතත් වෙනස් වෙන්නේ නැහැ. නැවත වරක් ලෝකයේ හොඳම කණ්ඩායම් දෙක අතර අපි ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා. අප ලබාගෙන ඇති සාර්ථකත්වය අහම්බයක් නොවන අතර, කිසිවක් අපට නොමිලේ ලැබී නැහැ," යනුවෙන් මෙසී ප්‍රකාශ කළේය.