ලෝකයම කම්පා කළ උගන්ඩාවේ පාසල් චාරිකාව – බස් අනතුරින් 21 දෙනෙකු ජීවිතක්ෂයට
උගන්ඩාවේ නැගෙනහිර කප්චෝර්වා (Kapchorwa) ප්‍රදේශයේ පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 20 දෙනෙකු සහ එක් වැඩිහිටියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු පවසති.
අධ්‍යයන චාරිකාවක නිරතව සිටි සිසුන් රැගත් බස් රථය බ්‍රහස්පතින්දා (17) සවස අනතුරට ලක්ව ඇති අතර, එම අනතුරින් පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් රියැදුරුට වාහනයේ පාලනය ගිලිහී ගොස් ඇති බවයි. අනතුර සිදුවූ චෙක්වටිට් (Chekwatit) කඳු මාර්ගය මීට පෙරද බරපතළ රිය අනතුරු රැසක් වාර්තා වූ ප්‍රදේශයක් බව ද සඳහන් වේ.
පොලිසිය පවසන්නේ රියැදුරුට බස් රථයේ පාලනය අහිමි වීමෙන් පසු එය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ විශාල ගලක ගැටී පෙරළී ගිය බවයි.
එම බස් රථය එන්ඩෙජ්ජේ (Ndejje) ප්‍රදේශයේ කිං ඩේවිඩ් කනිෂ්ඨ පාසලේ සිසුන් රැගත් එකක් වන අතර, එය රාත්‍රී 8.00ට පමණ කවෝවෝ (Kawowo) ප්‍රදේශයේ චෙක්වටිට් ගම්මානය ආසන්නයේදී අනතුරට ලක්ව තිබේ.
එරට පළාත් පාලන අමාත්‍ය බලාම් අටේන්යී බරුගහාරා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, අනතුරින් පාසලේ නිර්මාතෘ සහ අධ්යක්ෂ ටැඩියෝ සෙකඩේ මහතා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ දර්ශනවල බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, තුවාල ලැබූ සිසුන් බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් කඩිනමින් එක්ව කටයුතු කරන ආකාරය දැක්වේ.
දේශීය මාධ්‍ය වාර්තා කළේ, සිසුන් ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන සිපි දිය ඇලි (Sipi Falls) නැරඹීමෙන් අනතුරුව යළි පාසල වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
උගන්ඩාවේ සෑම වසරකම මාර්ග අනතුරු හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්වන අතර, අධික වේගයෙන් රිය පැදවීම, නිසි නඩත්තුවක් නොමැති වාහන සහ අනාරක්ෂිත මාර්ග තත්ත්වයන් එම අනතුරුවල ප්‍රධාන හේතු ලෙස සැලකේ.
පසුගිය සති කිහිපය තුළ ද පාසල් බස් රථ සම්බන්ධ බරපතළ අනතුරු කිහිපයක් වාර්තා වීමත් සමඟ එරට පාසල් ප්‍රවාහන සේවාවේ ආරක්ෂාව පිළිබඳ යළිත් අවධානය යොමුව තිබේ.