යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී - මෙන්න අද ලැබුණු තීන්දුව
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ යළි විභාගයට ගැනුණි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර, විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විසින් එම සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම ද සිදු කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 24 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල සහ රත්මලාන යන ප්‍රදේශවලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.