මගී ජීවිත එක්ක සෙල්ලම් කරන අයට වැඩ වරදියි - මාකුඹුරේදී බස් රියදුරන්ට හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
පොදු ප්‍රවාහන සේවාව වඩාත් ආරක්ෂිත හා ගුණාත්මක කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මාර්ග ආරක්ෂණ වැඩසටහන යටතේ බස් රියදුරන් සහ රිය සහායකයන් සඳහා අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් ඊයේ (16) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදුකර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මෙම පරීක්ෂණය සංවිධානය කර ඇති අතර, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම පරීක්ෂණාගාරය මඟින් රියදුරන් සහ රිය සහායකයන් 150 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී පුද්ගලයින් සිව්දෙනෙකු අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ
ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.මත්ද්‍රව්‍ය භාවිත කරමින් සේවයේ නිරත වන රියදුරන් සම්බන්ධයෙන් ආයතනික මෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.