මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලංකාවේ තේ වතු හිමියන්ටත් අසුබ ආරංචියක්
තේ අපනයනකරුවන්ගේ සංගමය ගල්ෆ් කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග රටවලට කෙරෙන ශ්‍රී ලංකාවේ තේ අපනයනය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව පවසයි.
එම තත්ත්වය දිගටම පැවතිහොත් මාසයකට අමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ ආදායම් අහිමිවීමක් සිදුවිය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.
ඇස්තමේන්තුවලට අනුව මේ වනවිටත් මැදපෙරදිග කලාපයට තේ අපනයනයෙන් සතියකට ඩොලර් මිලියන 10 සිට 15 දක්වා ආදායම් අහිමිවීමක් සිදුව ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 සංඛ්‍යාලේඛන අනුව මැදපෙරදිග රටවලට සිලෝන් ටී තේ කිලෝග්‍රෑම් මිලියන 125ක් පමණ අපනයනය කර ඇති අතර, එමගින් අමෙරිකානු ඩොලර් මිලියන 750ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
ඉරාකය, ඉරානය, ලිබියාව, තුර්කිය, සෞදි අරාබිය, සිරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවේ තේ ආනයනය කරන ප්‍රධාන මැදපෙරදිග රටවල් අතර වේ.
කෙසේ වෙතත් වෙනත් නාවික මාර්ග ඔස්සේ තේ අපනයනය කළ හැකි වුවද අධික නැව් ගාස්තු හේතුවෙන් එම රටවල ගැනුම්කරුවන් මේ වනවිට තේ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සංගමය පෙන්වා දෙයි.
තවද, අපනයනකරුවන් සතුව තේ සැපයීම සඳහා ඇණවුම් තිබුණද සැපයුම් ගැටලු සහ කලාපයේ පවතින යුද අවදානම හේතුවෙන් එම ඇණවුම් සැපයීමට බාධා එල්ල වී ඇති බව ද සඳහන් වේ.