හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක් කල්, යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මෙම අදහස් පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සාක්ෂි රැස් කිරීමට සහ වගකීම පැවරීමට බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා තුරු, විදේශ රාජ්‍යයන් විසින් සම්බාධක පැනවීම අඛණ්ඩව සිදු කළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින සාක්ෂි භාවිතා කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.
මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ චෝදනා මත, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට එක්සත් රාජධානිය විසින් පසුගිය සඳුදා සම්බාධක පනවා තිබුණා.
