ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්
ඇමරිකාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු වන කැනඩාව, චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණහොත් කැනේඩියානු ආනයන මත 100% ක දැවැන්ත බද්දක් පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
ඒ අනුව මෙම ප්‍රකාශයත් සමඟ ජනාධිපති ට්‍රම්ප් සහ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම තවදුරටත් උග්‍ර වී ඇති බව සඳහන්.
මින් පෙරද කැනේඩියානු භාණ්ඩ මත 10% ක බදු පැනවීමට ට්‍රම්ප් තර්ජනය කර තිබූ අතර, දෙරට අතර පවතින මෙම වාග් සංග්‍රාමය මේ වන විට දැඩි මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.
තම 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ චීන නිෂ්පාදන ඇමරිකාවට ඇතුළු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කැනඩාව භාවිතා කිරීමට අගමැති කාර්නි උත්සාහ කරන්නේ නම් එය බරපතළ වැරැද්දක් බවයි.
"චීනය විසින් කැනඩාව සම්පූර්ණයෙන්ම ගිලගනු ඇත. ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ පද්ධතිය සහ පොදු ජීවන රටාව මේ හරහා විනාශ වී යනු ඇත," ලෙස ට්‍රම්ප් එහි සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙය ට්‍රම්ප්ගේ පෙර ස්ථාවරයට වඩා හාත්පසින්ම වෙනස් වූවක් බව සඳහන්. ඉකුත් ජනවාරි 16 වැනිදා ඔහු මාධ්‍යවේදීන්ට කියා තිබුණේ කැනඩාව චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹීම යහපත් දෙයක් බවයි.
එමෙන්ම මෙම මස මුලදී කැනේඩියානු අගමැතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී නව "උපායමාර්ගික හවුල්කාරිත්වයක්" ඇති කර ගෙන ඇත.
ඒ යටතේ චීන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු ලිහිල් කිරීමටත්, වාර්ෂිකව රථවාහන 49,000 ක් දක්වා කැනේඩියානු වෙළඳපොළට ඇතුළු කිරීමටත් එකඟ වී තිබෙනවා.
ඒ සඳහා කැනේඩියානු කෘෂිකාර්මික නිෂ්පාදනවලට පනවා ඇති බදු බාධක ඉවත් කිරීමට චීනය එකඟතාව පළ කර ඇති බව සඳහන්.
මේ අතර ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී අදහස් දක්වමින් අගමැති කාර්නි කියා සිටියේ ඇතැම් බලවත් රටවල් ආර්ථික ඒකාබද්ධතාවය අවියක් ලෙසත්, බදු පැනවීම් බලපෑම් සහගත මෙවලමක් ලෙසත් භාවිතා කරන බවයි.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ "කැනඩාව පවතින්නේ ඇමරිකාව නිසා නොව, අප කැනේඩියානුවන් වන නිසා අප දියුණු වන" බවයි.
කෙසේ වුවද මෙම වෙළඳ යුද්ධය නිසා දෙරටේම ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති අතර ඉකුත් ඔක්තෝබර් මාසයේදී කැනඩාවේ විරැකියා අනුපාතය වසර නවයකට පසු ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා. එමෙන්ම කැනේඩියානුවන් ඇමරිකාවට පැමිණීම 31% කින් පහත වැටී ඇත.
තවද ඇමරිකානු මත්පැන් අපනයනයද 85% කින් පමණ කැනේඩියානු වෙළඳපොළ තුළ පහත වැටී ඇති බව සඳහන්.
මේ අතර ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරයාට මෙසේ බදු පැනවීමට ඇති හදිසි බලතල පිළිබඳව තීරණයක් ලබා දීමට නියමිත බව ද වාර්තා වේ.