තොටළඟ කන්නාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරන්න මහතා විසින් හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තොටළඟ කන්නා නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
ඊයේ (10) දින කොළඹ මහාධිකරණය, ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.
2014 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඇලකන්ද ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.
නඩු විභාගය පැවති අවස්ථාවේදී ඇප ලබා සිටි විත්තිකරු අධිකරණය මගහැර පලා යාම හේතුවෙන් එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කර ඇත.