ශ්‍රී ලංකා රන් බලාපොරොත්තුව අද තරග බිමේ
ආසියානු බොක්සිං සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සංවිධානය කරන, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 22ට අඩු සහ යොවුන් බොක්සිං තරගාවලියේ, යොවුන් කාණ්ඩයේ බර පන්ති බහුතරයක ශූරතාවය හිමිකර ගැනීමට කසකස්තාන බාලක බාලිකාවෝ ඊයේ (22 වැනිදා) සමත් වූහ.
එසේම ශ්‍රී ලංකා ක්‍රීඩක යස්මින් උසයිත් මොහොමඩ් කිලෝග්‍රෑම් 75 බර පන්තිය යටතේ අද (23 වැනිදා) සිය රන් පදක්කම සඳහා තරග වැදීමට නියමිතය. දිනයේ යොවුන් තරග 25ක් පැවැති අතර එහිදී බාලක බර පන්ති තුනක හැරෙන්නට අනෙකුත් සියලුම බර පන්තිවල අවසන් තරගවලට කසකස්තාන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලබා සිටියහ. ප්‍රථමයෙන් පැවැති බාලිකා කාණ්ඩයේ අවසන් වටයේ තරග 12ක් පැවැත්විණි.
එහිදී සෑම තරගයකින්ම ජයග්‍රහණය හිමිකර ගනිමින් රන් පදක්කම් 12ම තමන් සතු කරගැනීමට කසකස්තාන ක්‍රීඩිකාවන් සමත් වන විට ලෝක බොක්සිං සම්මේලනය නියෝජනය කළ ඉන්දීය කණ්ඩායම පදක්කම් 5ක් සමගින් යොවුන් කාන්තා කාණ්ඩයේ වැඩිම රිදී පදක්කම් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකා හිරුණි විජේසිංහ කිලෝග්‍රෑම් 48 බර පන්තියේ අවසන් තරගයේදී කසකස්තාන ක්‍රීඩිකා අලීනා කුදයිජෙනෝවා හමුවේ පරාජයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගත්තාය.
