හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය
සමස්ත ලංකා පාසල් ගුරු සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා පවසන්නේ, හෙට (27) සිට රටේ සමස්ත පාසල් පද්ධතිය තුළ සිටින ගුරු සංවර්ධන නිලධාරීන් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ, වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ ක්‍රියාත්මක වන ගුරු පුහුණු වැඩසටහන්වලට තමන් කැඳවීමක් නොකිරීම බව සංගමය පවසයි.
විරාජ් මනරංග මහතා ප්‍රකාශ කළේ, වසර 6කට වඩා වැඩි කාලයක් ගුරුවරුන් ලෙස රාජකාරි කළ තම සාමාජිකයන්, පසුගිය කාලවල ගුරු පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වූවත්, මෙවර එවැනි කැඳවීමක් ලැබී නොමැති බවයි.
"පාසල් දරුවන්ගේ ජයග්‍රහණ සඳහා ඇපකැපවී වැඩකළ අපව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොසලකා හැර ඇති බව" ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය ගුරු සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගෞරවයට හානිකර බවත්, එය අධ්‍යාපන පද්ධතියේ සමස්ත ගුණාත්මකභාවයට බලපෑමක් එල්ල කරන බවත් සංගමයේ මතයයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් විරාජ් මනරංග මහතා කියා සිටියේ;
"27 වැනිදා ඉඳලා අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙලා, ගුරු සංවර්ධන නිලධාරීන් ලෙස අපගේ නිල කටයුතුවලට පමණක් සීමා වෙන්න අපි තීරණය කරලා තියෙනවා. මේ තත්ත්වය නිසා ගුරුවරුන් අතර ගැටුම් ඇතිවීමේ ඉඩක් තියෙනවා. විදුහල්පතිවරුන්ට පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම අපහසු වෙන්න පුළුවන්. කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්ටත් මෙම තත්ත්වය පාලනය කරගැනීම අභියෝගයක් වෙන්න ඉඩ තියෙනවා. මේ සියල්ලටම හේතුව රජයේ උද්ධච්ච තීන්දු තීරණයි."