ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැන අනතුරු ඇඟවීමක්
මේ දිනවල පවතින අධික වැසි හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යන බැවින්, දින දෙකකට වඩා උණ පවතින අය වහාම වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගන්නා ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
සීතල කාලගුණික තත්ත්වයත් සමඟ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර, එය නිව්මෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් වඩාත් සැලකිලිමත් වන ලෙස ඔහු ජනතාවට අවවාද කරයි.
දින දෙකකට වඩා උණ පවතින විට වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇඳේ සිට විවේක ගැනීම ඉතා වැදගත් බව ඔහු පවසයි.
එසේම, දරුවන්ට සීතල ආහාර ලබා නොදීමට, වැස්සේ සෙල්ලම් කිරීමට ඉඩ නොදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත්, දරුවන්ට උණ ඇත්නම් ඔවුන් පාසල් හෝ පෙර පාසල් නොයැවීමට වගබලා ගන්නා ලෙසත් වෛද්‍ය හැරිස් පතිරගේ උපදෙස් දෙයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මොනවා ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කිහිපයක් පවතී.
උණ, කැස්ස, උගුරේ ආබාධ, නාසයේ සොටු ගැලීම, මස් පිඩු වේදනාව, හිසරදය, තෙහෙට්ටුව, වමනය
රෝගය වැළඳීම සහ සුවවීම
පළමු දින 1 සිට 3 දක්වා - උණ, හිසරදය, මස්පිඩු වේදනාව, උගුරේ අපහසුතා, වියළි කැස්ස සහ ඇතැම් විට නාසයේ බර ස්වභාවක් ඇති විය හැකි ය.
4 වන දිනය - උණ සහ මස්පිඩු වේදනාව තරමක් අඩුවෙයි. එහෙත්, උගුරේ වේදනාව, කැස්ස සහ හෘදයේ සුළු වේදනාවක් ඇති විය හැකි ය.
8 වන දිනය - රෝග ලක්ෂණ පහව යන නමුත්, කැස්ස සහ තෙහෙට්ටුව සති දෙකක පමණ කාලයක් පැවතිය හැකි ය.