මේක ෆිල් කරපු හැමෝටම Facebook එකෙන් වන්දි ඉල්ලන්න පුළුවන්
මෙටා සමාගම මඟින් ගෙවීමට එකඟ වූ ඩොලර් මිලියන 50ක වන්දියක් වෙනුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයින් 311,000කට වැඩි පිරිසකට අයදුම් කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙය ඕස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් සඳහා ගෙවීමට සිදුවන විශාලතම වන්දි මුදල වශයෙන් සැලකේ. මෙයට හේතු වී ඇත්තේ කේම්බ්‍රිජ් ඇනලිටිකා අපකීර්තියයි.
එනම් 2010 ගණන්වලදී සිදු වූ කේම්බ්‍රිජ් ඇනලිටිකා අපකීර්තිය පිළිබඳව ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා සමාගමේ මැදිහත් වීමත් සමඟ මෙම ගැටලුව උද්ගත වුණා. මෙම මහා දත්ත උල්ලංඝනය අතරතුර බ්‍රිතාන්‍ය දත්ත සමාගමක් මඟින් ලොව පුරා ෆේස්බුක් ගිණුම් මිලියන 87ක පුද්ගලික තොරතුරු ලබාගෙන තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ, ජාතික පෞද්ගලිකත්ව නියාමකයා වන ඕස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලයේ විමර්ශනයකින් අනාවරණය කර ගත්තේ කේම්බ්‍රිජ් ඇනලිටිකා විසින් පුද්ගලික තොරතුරු උකහා ගැනීමට 'This Is Your Digital Life' නම් පෞරුෂ ප්‍රශ්නාවලි යෙදුම භාවිතා කර තිබූ බවයි.
එහිදී ඕස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයින් 53 දෙනෙකු පමණක් මෙම යෙදුම ස්ථාපනය කළ බවට එම විමර්ශනයෙන් හෙළිව තිබුණා.
එහෙත් තවත් ඕස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයින් 311,074 ක් එම 53 දෙනාගේ මිතුරන් වූ නිසා එම යෙදුමට ඔවුන්ගේ තොරතුරු ද ඉල්ලා සිටීමට හැකියාව තිබී ඇත.
ඒ අනුව තොරතුරු කොමසාරිස්වරයා 2024 දෙසැම්බර් මාසයේදී මෙටා සමඟ අධිකරණයේ පවතින නඩුව නිරවුල් කර ඇති බව නිවේදනය කර තිබෙන අතර එයට වාර්තාගත ඩොලර් මිලියන 50ක ගෙවීම් ක්‍රියාවලියක් ඇතුළත් වේ.
එබැවින් වන්දි ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය මේ වසරේ ජූනි 30 වන දින විවෘත කර තිබෙන අතර සුදුසුකම් ලබන ඕස්ට්‍රේලියානුවන්ට හිමිකම් පෑමට අවස්ථාව ඇත්තේ 2025 දෙසැම්බර් 31 වන දින තෙක් පමණයි.
මේ අතර අමෙරිකාවේ ද මෙවැනි ගෙවීම් ක්‍රියාවලියක් මේ වන විටත් ආරම්භ වී ඇත. ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා සමාගමට විරුද්ධව ඇමරිකාවේ වාර්තාගත ඇමරිකානු ඩොලර් බිලියන 5ක දඩයක් නියම වුණා.
එසේම බලපෑමට ලක් වූ ඇමරිකානුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 725 ක වන්දි යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දී ඇති බව වාර්තා වේ.