ළමා රෝහලේ බරපතළ තත්ත්වයක් - හෘද සැත්කම් සඳහා පමණක් 1,000කට වැඩි දරුවන්
රිජ්වේ ආර්යා ළමා රෝහල හි ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනයේ ළමුන් 2,712ක් සිටින බව හංසක විජේමුණි විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මෙම තොරතුරු හෙළි කළේ රෝහිණී විජේරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.
එහි අනුව, හෘද හා උරස් සැත්කම් සඳහා ළමුන් 1,025ක් පොරොත්තුවේ සිටින අතර, සාමාන්‍ය සැත්කම් සඳහා 593ක් ලැයිස්තුගත කර ඇත.
තවද, අක්ෂි සැත්කම් අවශ්‍ය ළමුන් 388ක්, කණ-නාස-උගුර සම්බන්ධ සැත්කම් බලාපොරොත්තු වන ළමුන් 266ක් සහ ප්ලාස්ටික් සැත්කම් සඳහා ළමුන් 240ක් ද සිටින බව සඳහන් වේ.
එමෙන්ම, කොඳු ඇට පෙළේ සැත්කම් සඳහා ළමුන් 133ක්, විකලාංග සැත්කම් සඳහා 48ක් සහ ස්නායු සැත්කම් සඳහා ළමුන් 19ක් ද පොරොත්තුවේ සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙලෙස, සමස්ත වශයෙන් ළමුන් 2,712ක් ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටින බව අනාවරණය විය.