ශ්‍රී ලංකා - අමෙරිකානු ආරක්ෂක සබඳතා අලුත් මඟකට
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මයර් මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර පළමු නිල හමුව පවත්වා තිබෙනවා.
එහිදී වර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකා–එක්සත් ජනපද ආරක්ෂක හවුල්කාරිත්වය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.
දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
මෑතකදී එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගීතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති අතර, TH-57 හෙලිකොප්ටර් යානා 10ක්, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ සිව්වන කටර් යාත්‍රාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්වෙරළ මුර සංචාරක යාත්‍රා සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා දියුණු චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ලබාදීම ඇතුළු සහයෝගිතා වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම, හමුදා සූදානම වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බව සඳහන්.
එමෙන්ම, ඉන්දියානු සාගරය මෙන්ම පුළුල් ඉන්දු–පැසිෆික් කලාපය තුළ දෙරටට පොදු වන අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු වී තිබෙනවා.