රටේ ආයෝජකයන්ට සුභ ආරංචියක් - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘත බවත්, මානව හිමිකම් සහ පරිසරය රකින වගකීම් සහගත ආයෝජන සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙන බවත්ය.
අද (12) එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය (UN Global Compact) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව කොළඹදී සංවිධානය කළ ආසියා-පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධන අරමුණු ඇතුළත් ආයෝජන සංසදයට ("Forward Faster Now") එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට
සංසදය අමතමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රජයට පමණක් තනියම කටයුතු කළ නොහැකි බවත්, ඒ සඳහා රාජ්‍ය, පෞද්ගලික මෙන්ම සිවිල් සමාජය ද එකතු විය යුතු බවත්ය.
වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වාර්ෂික මූල්‍ය හිඟය ඩොලර් ට්‍රිලියන 2.5 ත් 4 ත් අතර වන අතර, ආසියා-පැසිෆික් කලාපයේ පමණක් එම හිඟය ඩොලර් ට්‍රිලියන 1.5 කි. 2030 වන විට මෙම කලාපයේ මැනිය හැකි තිරසාර සංවර්ධන ඉලක්කවලින් සියයට 88 ක්ම මගහැරී යාමේ දැඩි අවදානමක් පවතින බැවින්, අරමුදල් ආයෝජනය කිරීම කඩිනම් කළ යුතුය.
අභියෝගාත්මක කාලයකට පසු ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කර ගනිමින් යළි නැගී සිටිමින් සිටින බව පැවසූ අගමැතිවරිය, 2025 වසරේදී රට සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවත්, දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 108.8 දක්වා ඉහළ ගොස් ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 සීමාව පසු කළ බවත් සඳහන් කළාය.
නමුත් රජයේ අරමුණ හුදෙක් සංඛ්‍යාලේඛනවලින් පෙනෙන වර්ධනයක් නොව, හොඳ රැකියා උත්පාදනය වන සහ ප්‍රතිලාභ සාධාරණව බෙදී යන සැබෑ ආර්ථික පරිවර්තනයක් බව ඇය අවධාරණය කළාය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණුවට රජය උපරිම සහයෝගය ලබා දෙන බවත්, කෙසේ වෙතත් මෙහිදී ලාභය පමණක් අරමුණු කරගත් ආයෝජන නොව, මානව හිමිකම් සහ පරිසරය සුරකින වගකීම් සහගත ආයෝජන අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
සේවකයන්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවීම, වෘත්තීය පුහුණුව ලබා දීම, නිසි ලෙස බදු ගෙවීම සහ පරිසරය ආරක්ෂා කිරීම හැම ව්‍යාපාරයකම මූලික වගකීමකි. කාන්තාවන්ට සහ මෙතෙක් සමාජයේ කොන් වූ පාර්ශ්වයන් ආර්ථිකයට එකතු වීමට ඇති බාධා ඉවත් කිරීම රජයේ ප්‍රමුඛතාවයකි. දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් 'තිරසාර මූල්‍ය මාර්ග සිතියම' සහ 'හරිත බැඳුම්කර රාමුව' හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ UN Global Compact හි ප්‍රධාන විධායක නිලධාරිනී සැන්ඩා ඔජියාම්බෝ මෙනෙවිය ප්‍රකාශ කළේ, ලෝකය මුහුණ දී සිටින දේශගුණික, බලශක්ති සහ මූල්‍ය අර්බුද සඳහා ප්‍රාග්ධනයේ හිඟයක් නොමැති බවත්, අවශ්‍යව ඇත්තේ පවතින අරමුදල් නිවැරදි දිශාවට යොමු කිරීම පමණක් බවත්ය. සංවර්ධන වන රටවලට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විශ්වාසය, විනිවිදභාවය සහ රාජ්‍ය-පෞද්ගලික අංශයේ කඩිනම් සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. මෙම සමුළුව සඳහා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආසියා-පැසිෆික් කලාපයේ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ විධායකයින් සහ තිරසාර සංවර්ධන විශේෂඥයින් පිරිසක් එක්ව සිටියහ.