ජනවාරි මාසෙත් සුබ ආරංචියක් කිව්ව රේගුව - දවස් 22 ට සුපිරි ආදායමක්
ශ්‍රී ලංකා රේගුව ජනවාරි මාසය වෙනුවෙන් නියමිත ආදායම් ඉලක්කය මේ වනවිටත් ඉක්මවා ගොස් ඇති බවට නිල දත්ත අනාවරණය කර ඇත.
ඒ අනුව එම මාසයේ පළමු දින 22 තුළ රුපියල් බිලියන 175.4 ක ආදායමක් රැස් කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා.
එය එම මාසයට අපේක්ෂිත රුපියල් බිලියන 160.2 ක ඉලක්කයට වඩා 9.5% ක වර්ධනයක් බව සඳහන්. එමෙන්ම නොවැම්බර් මාසයේ පැවති දිට්වා සුළි කුණාටුව නිසා බාධා එල්ල වූ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු වේගවත් කිරීම සහ දෙසැම්බර් මාසයේ ආනයන කටයුතු ඉහළ යාම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන ලෙස හේතු වී ඇති බව ද වාර්තා වේ.
ඉකුත් වසරේදී (2025) රේගුව රුපියල් බිලියන 2,241 ක සංශෝධිත ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 2,551 ක වාර්තාගත ආදායමක් ලබා ගෙන තිබුණා.
එය 2024 වසරේ උපයන ලද රුපියල් බිලියන 1,553 ට සාපේක්ෂව 64.2% ක වර්ධනයක් විය.
කෙසේ වුවද මෝටර් රථ ආනයනය අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, රේගුව 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 2,207 ක තරමක් අඩු ආදායම් ඉලක්කයක් නියම කර ඇත.
මේ අතර නිලධාරීන් පවසන්නේ නීති තදින් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ තක්සේරු කිරීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ වසර කිහිපයක පසුබෑමකට පසු ආනයන ප්‍රමාණය යළි ඉහළ යාම ජනවාරි මාසයේ මෙම ආදායම් වර්ධනයට හේතු වූ බවයි.
2022 වසරේ පැවති ආර්ථික අර්බුදය සහ විදේශ විනිමය සීමා කිරීම් නිසා ආනයන කටයුතු විශාල ආකාරයට සීමා වූ නමුත්, වර්තමානයේ එම පාලනයන් ලිහිල් වීම සහ පාරිභෝගික ඉල්ලුම යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් ආදායම් එකතු කිරීම් ඉහළ ගොස් ඇත.
එසේම භාණ්ඩවල වටිනාකම අඩු කර පෙන්වීම සහ වැරදි ආකාරයට භාණ්ඩ ප්‍රකාශ කිරීම් පිළිබඳව දැඩි සේ නිරීක්ෂණය කිරීම හරහා රජයේ ආදායම තවදුරටත් ශක්තිමත් වී ඇත.
මේ අතර අඳාළ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඇතිව ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට රේගුව භාණ්ඩාගාරයට ඉතා වැදගත් දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව ඇති බවයි.