ළමයි කෑ ගැහුවා බේරගන්න කියලා..සිරුරු තුනක් තියෙනවා සම්පූර්ණයෙන්ම පිච්චිලා - රටම කම්පා කළ හෝමාගම ගිනි දැල් මතින් ඇහෙන කතාව
අද (21) දින උදෑසන රටම කම්පනයට පත් කරමින් හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් පිරිසක් තුවාල ලබා ඇත.
ඒ අනුව මෙම බිහිසුණු ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.
එවන් පසුබිමක එම ගින්න ඇති වූ ආකාරය ගැන එහි සේවය කරන සේවකයෙක් පැවසුවේ මෙවැන්නක්,
''අපි කෑමට ඇවිල්ල හිටියේ. ළමයි ටී ටයිම් එක ඉවරවෙලා උඩට ගියා හතර දෙනෙක්. ඊට පස්සේ තමයි ඔය ගින්න ආවේ. මම එනකොටත් ගින්න තිබුණා. අපි ගිහින් ගින්න නිවන්න හැදුවා. එක පැත්තකින් නිවනකොට අනිත් පැත්තකින් ගොඩක් එනවා ගින්න. නිවන්න බැරි නිසා අපි පැන්නා. විනාඩි තුනක් යන්න ඇති ඔය සිද්ධිය ඔක්කොම වෙන්න. අපිට ඇතුළට යන්න කියලා හිතන්නවත් බැහැ. ඇතුළෙන් තනිකරම කළු දුමක් ආවේ. උඩ හිටපු කට්ටිය ගන්න තමයි ලයින් සුපවයිසර් එතනට ගියේ.''
කර්මාන්ත ශාලාව අවට සිටි කාන්තාවක් ඒ බිහිසුණු අත්දැකීම පවසා සිටියේ මෙලෙසින්.
තත්ත්වය දරුණුයි - රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම මෙම ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන්නැයි මේ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
''එක පාරටම සද්දයක් ඇහුණා. මොකක් හරි රණ්ඩුවක්ද වගේ, අන්න ඒ වගේ ඇහුනේ තුන් හතර දෙනෙක් කෑගහනවා වගේ. ඊට පස්සේ දුවගෙන මමයි තව මිස් කෙනෙකුයි ආවා පාරට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. බලනකොට මෙතනින් දුම යනවා. ඒකෙ ළමයි කෑ ගැහුවා බේරගන්න කියලා. හැමෝම වගේ කෑගැහුවා. ඕකෙ වැඩ කරන පිරිමි ළමයි සෑහෙන්න මහන්සි වෙලා හැමෝම බේරගන්න මහන්සි වුණා. නවයයි හතළිස් පහයි වෙලාව හරියටම''
එසේම එම සිදුවීම පිළිබඳව කෝට්ටේ ගිනි නිවීමේ නිලධාරිවරයෙක් සඳහන් කළේ,
''මේක හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පෙරවරු දහයයි දෙකට තමයි අපේ පාලන මැදිරියට මේ ගින්න සම්බන්ධයෙන් දැනුම් දුන්නේ. නමයයි හතළිස්පහට විතර තමයි ගින්න ඇතිවෙලා තියෙනවා කියල විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ. අපි මෙතනට ළඟා වෙනකොට තුන්දෙනෙක් ගින්නට මැදි වෙලා ඉන්නවා කියලා අපිට දැනුම් දුන්නා. මේ ගොල්ලන්ගේ හෙල්මට් නිෂ්පාදනය කරනු ලබන ඇටබෝල වර්ගයකුයි, කෙමිකල් තියෙන පැත්තත් එක්ක ගින්න ලොකුවට පැතිරිලා තිබුණේ. අපිට දැනුම් දුන්න විදිහට ඒගොල්ලෝ තුන්වන තට්ටුවේ හිරවෙලා කියලා තමයි කිව්වේ. එතකොට අපි ඒකට තමයි මූලිකත්වය දීලා අපේ ගලවා ගැනීමේ කණ්ඩායම් ඒ පැත්තට යොමු කළේ. ඒ වුණාට ඒ ගොල්ලෝ සිර වෙලා ඉදියේ අදාළ ස්ථානය නෙමෙයි. ඊට මෙය අපට ගිනි නිවීමේ හමුදාවට ළඟා වෙන්න බැරිවෙලා තිබුණේ සම්පූර්ණයෙන් ඒ ඩෙක් එක බිමට පාත් වෙලා තිබුණු නිසා. පස් දෙනෙක් ගින්නට හසුවෙලා තිබුණා සම්පූර්ණයෙන් පිච්චිලා තියෙන්නේ. සිරුරු තුනක් තියෙනවා සම්පූර්ණයෙන්ම පිච්චිලා. සිරුරු දෙකක් තියෙනවා යම්තාක් දුරකට පිච්චිලා. ඒගොල්ලෝ කියන්නේ පළවෙනි තට්ටුවෙන් ගින්න පටන් ගත්තා කියලා. ඒක අපිට තාම හරියට කියන්න බැහැ. විමර්ශන කරගෙන යනවා.''