ආන්දෝලනාත්මක සිදුවීමක් වූ රඹුක්කන වෙඩිතැබිම්වල දී, විසිර යන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය හැකි ද.. නොහැකි ද.. ? - ඒ ගැන සුවිශේෂී පුද්ගලයෙක්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
ඊයේ (19) පස්වරුවේ රඹුක්කන ප්‍රදේශවාසීන් විසින් මාර්ගයට බැස ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් කඳුලු ගෑස් හා වෙඩි ප්‍රහාර එල්ල කළා.
එම වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, පොලිස් නිලධාරින් ඇතුළු තවත් සිවිල් වැසියන් 27 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට තවමත් (20) රඹුක්කන පොලිස් බල ප්‍රදේශයටම පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සිය අදහස් පළ කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ, ඊයේ පොලීසිය විසින් සිදු කළ පහරදීම අවම බලය යටතේ සිදු වූවක් බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ අවම බලය භාවිත කිරීම යනු වෙඩි තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම නොවන බවයි.
මෙම අර්බුද හමුවේ මේ වනවිට ජාත්‍යන්තරය ම ශ්‍රී ලංකාව දෙස බලා සිටින බවත්, උපරිම බලය පොලීසියට ඇත්තේ මර්දනකාරී සහ කලහකාරී අයුරින් හැසිරෙන පුද්ගලයෙකුගේ දණහිසෙන් පහළට වෙඩි තැබීම බවත් ඔහු සඳහන් කළා.
නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ මෙම ප්‍රහාරය ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් බවත්, සිවිල් වැසියන් ද ප්‍රචණ්ඩකාරීව හැසිරිම හේතුවෙන් මෙම සිදුවීම සිදුව ඇති බවත් අද උදෑසන සියලුම මාධ්‍යයන් තුළ ද වාර්තා කර තිබුණා.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ ද සඳහන් වන්නේ, කිසියම් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම හෝ අවි ආයුධ ගෙන පොලිසියට පාලනය කරගත නොහැකි තැනකට පත් වන්නේ නම්, උපරිම කඳුලු ගෑස්, බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ ප්‍රහාර හෝ ඊටත් එහායින් සිදු කළ හැකි ප්‍රහාරය වන්නේ උපරිම වශයෙන් දණහිසෙන් පහළට වෙඩි තැබීම පමණක් බවයි.
නමුත්, සිවිල් වැසියන් අරගල මැද විසිරුවා හැරීමට පොලීසිය ක්‍රියා කළ අවස්ථාවක දී ඔවුන් විසිර යන්නේ ද, කිසිම විටෙක ඔවුනට බලතල ඉක්මවා ප්‍රහාර එල්ල කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කිසිසේතම අනුචිත නොවන බව ද ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළා.
එබැවින් ඊයේ දින සිදු වූ රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ වෙඩි තැබීම කාගේ නියෝග මත සිදු වූවක් ද, එය නීත්‍යානුකූල ද යන්න විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ද ආචාර්යවරයා ප්‍රකාශ කළා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 15 වැනි ව්‍යවස්‍ථාව යටතේ භාෂණයේ නිදහස සහ අරගල කිරීමේ නිදහස සම්බන්ධයෙන් සඳහන් කර ඇති නීතින් කිසිදු අයෙකුට උල්ලංඝනය කරමින්, කටයුතු කළ නොහැකි බව ද ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් පැවසුවා.
එබැවින් අරගල කිරීමේ දී සහ භාෂණයේ දී වුව ද අනිවාර්යයෙන්ම සාමකාමීව කටයුතු කළ යුතු අතර, කිසිදු අවස්ථාවක ප්‍රචණ්ඩකාරීව හැසිරීම් නොකළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |