ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරියි - තත්ත්වය මෙන්න
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ලැබෙන වර්ෂාවත් සමග, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් මේ වනවිට විවෘත කර තිබේ.
ඒ අනුව ජලාශයේ ජල මට්ටම සාමාන්‍ය සීමාවේ පවත්වා ගැනීම සඳහා සුළු වර්ෂාවත් සමඟම එය විවෘත කළ බව එම ජලාශයේ ඉංජිනේරුවන් පවසා ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව, දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම් අඩුවී යන ප්‍රවණතාවයක් ඇති බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැඳුරු ඔය ජලාශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර හා වෙහෙරගල ජලාශ, සහ අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයෙන් මෙම වනවිට ජලය නිදහස් කරමින් පවතින බවයි.
කෙසේ නමුත්, මේ පිටට නිදහස් කරන ජලයෙන් පහළ ප්‍රදේශවලට කිසිදු හානියක් හෝ බලපෑමක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
ඉදිරියේදී වැඩි වර්ෂාවක් ලැබිය හැකි බව පුරෝකථනයන් සිදුකරන බැවින්, එවැනි තත්ත්වයන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාල පැය 24 ම විවෘතව පවතින බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ නිරන්තර දැනුවත් කිරීම් සිදු කරන බවද සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය. තවද, මේ වනවිට මෝසම් වැසි සක්‍රීය වී ඇති නමුත් පවතින තත්ත්වයන් අනුව දැන්විය යුතු විශේෂිත අවදානම් තත්ත්වයක් මෙතෙක් මතුවී නොමැති බව කාලගුණ විද්‍යා අංශය ද සඳහන් කරයි.