අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි
අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ (පසුගිය අප්‍රේල් 10 සිට දින 12ක්) සූර්ය බලශක්ති නිෂ්පාදකයන් විසින් ජනනය කරන විදුලිය ජාතික විදුලි පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.
මේ නිසා, කිලෝවොට් 100 ඉක්මවූ සූර්ය බල විදුලි පද්ධති හිමිකරුවන්ට සිදුවන මූල්‍ය පාඩුවට වන්දි ගෙවන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන පරිදි, අප්‍රේල් 10 සිට 21 දක්වා කාලය තුළ කිලෝවොට් 100ට වැඩි සූර්ය විදුලි ජනන පද්ධතිවලින් විදුලිය ලබා නොගන්නා අතර, ඒවා දැනටමත් විසන්ධි කර ඇත.
මේ තත්ත්වය හමුවේ, එම සංගමය ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙත ලිපියක් යවමින්, කර්මාන්තයට සිදුවන පාඩුව සලකා වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
සංගමයේ ප්‍රකාශකයෙකුට අනුව, මෙවැනි සූර්ය බල උත්පාදකයකට හිමි ආදායමින් 35%ක් පමණ මෙම තීරණය හේතුවෙන් අහිමි වන අතර, එය රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් බව සඳහන් වේ.
සූර්ය බලශක්ති නිෂ්පාදනය සඳහා ආයෝජකයන් රුපියල් බිලියන 200කට අධික මුදලක් ආයෝජනය කර ඇති බැවින්, මෙලෙස වන්දි ගෙවන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලීම් කරයි.
මෙම තීරණය හේතුවෙන් සූර්ය පැනල් ආයෝජකයන්ට විශාල පාඩුවක් සිදුවන බව ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු පෙන්වා දුන්නේය.
අද වන විට සූර්ය පැනල් මගින් මෙගාවොට් 1500කට වැඩි විදුලි ප්‍රමාණයක් ජාලගත කර ඇති අතර, ජාලගත පරිමාවෙන් 25%ක් විසන්ධි කිරීමට ලක්වන බව අනුමාන කළහොත් මෙම පාඩුව සිදුවන බව ඔහු සඳහන් කළේය.
දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් විදුලි බල මණ්ඩලය මෙම තීරණය ගත් බවත්, රජයේ නිවාඩු යෙදෙන සෑම අවස්ථාවකම මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කළහොත් සූර්ය බලශක්ති ආයෝජන අඩුවනු ඇති බවත් ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති අවධාරණය කළේය.
