ජනාධිපතිවරයා ජනතාව අතරට යන්නෑ බයයි - විපක්ෂ නායක
අද වන විට රට තුළ පවතින්නේ ජනතාව අතරට යන්නට දැඩි ලෙස බිය වී සිටින ජනාධිපතිවරයෙක් සහ බියගුලු මෙන්ම නිවට ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වත්මන් රජය විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අකමැත්තක් සහ මැළිකමක් දැක්වීම තුළින්ම ඔවුන්ගේ එම බියගුලුභාවය සහ නිවට භාවය රටටම මැනවින් ඉස්මතු වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු යන තේමාව පෙරදැරි කර ගනිමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් අමතමිනි.
රටේ සමස්ත ජනතාව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හඬ තුළින් මුළු රටම අවධි කිරීමට මේ වන විට සූදානම්ව සිටින බවත්, මේ අවස්ථාවේ ඒ සඳහා ජනතාවට ඇති හොඳම සහ එකම ක්‍රමය වන්නේ කල් දමා ඇති පළාත් සභා ඡන්දය වහාම පැවැත්වීම බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.
වත්මන් පාලනය යටතේ ජනතාව මුහුණ දෙන දැඩි ජීවන දුක, පීඩනය, අසහනය මෙන්ම වේදනාවට සහ කණගාටුවට ඡන්ද බලයෙන් නිසි පිළිතුරු දෙන්නට ජනතාව ඉතා උනන්දුවෙන් සූදානමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට රටේ පොදු ජනතාවට කුමක් වුවත් ඔවුන්ගේ හිතුමතේට පමණක් දේවල් කරන නිසා ජනතාව මොවුන්ට මෙවර හොඳ පාඩමක් උගන්වන්නට බලා සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
එබැවින් රටේ ජනතාව දැන්වත් අතීතයෙන් නිසි පාඩමක් ඉගෙන ගෙන, ඉදිරියට පැමිණෙන මැතිවරණවලදී විවිධ දේශපාලන රැලිවලට හසු වී ඡන්දය ලබා දෙනවා වෙනුවට, යම්කිසි පාර්ශ්වයක් රට පාලනය කිරීමට ජයග්‍රහණය කරවිය යුතු නම් සාධාරණ බහුතරයක් ඇති අයට පමණක් ජනවරමක් ලබා දිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.
එසේ නොමැති වී එකම කණ්ඩායමකට අසීමිත බලයක් ලබා දුන් විට සිදුවන්නේ, එම අසීමිත බලය තුළින් ඇතිවන බල උන්මාදයෙන් පිස්සු වැටී මුළු රටම අවුල් කරන, ජනතාව ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා ඒකාධිපති තීන්දු ගන්නා වැරදි පාලන රටාවක් නිර්මාණය වීම බැවින්, ඊළඟට පැමිණෙන ඕනෑම මැතිවරණයකදී හෝ මේ වැරදි දේශපාලන ක්‍රමවේදයට තිත තැබීමට ජනතාව බුද්ධිමත්ව පෙළගැසිය යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.