මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ජාවාරමකින් කීරි සම්බා මිල ඉහළට
මහා පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා සහල් හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කරමින්, රුපියල් 260ක පාලන මිල ඉක්මවා, කිලෝවක් රුපියල් 320-325 අතර මිලකට අලෙවි කරති. ඉදිරියේදී මිල රුපියල් 400 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බව වෙළෙඳපොළ තොරතුරු හෙළි කරයි.
ඇතැම් සුපිරි වෙළෙඳසැල්වල කිලෝ 5 ඇසුරුම රුපියල් 1,300 ලෙස සඳහන් වුවත්, අමතර බිල්පත් එක්කර රුපියල් 1,625කට අලෙවි කෙරේ.
මහා පරිමාණ මෝල් හිමියන් ගොවීන්ගෙන් වී මිටියක් (කිලෝ 64) රුපියල් 11,000කට මිලදී ගන්නා අතර, එමගින් වී කිලෝවක මිල රුපියල් 167-171 දක්වා ඉහළ ගොස් ඇත. මෙය සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට බලපෑමක් එල්ල කර ඇති අතර, ඔවුන්ගේ සහල් තොග අවසන් වී ඇත.
පසුගිය මහ කන්නයේදී කීරි පොන්නි සහල් ආනයනයට අනුමැතිය ලැබුණත්, එය ආනයනය නොකළ අතර, යළ කන්නයේ කීරි සම්බා අස්වැන්නෙන් බහුතරය මහා පරිමාණ මෝල් හිමියන් මිලදීගෙන ඇත. ඔවුන් කන්න දෙකකට අවශ්‍ය වී තොග රැස්කරගෙන ඇති බවත් වාර්තා වේ.
