පණ බේර ගන්න ඔට්ටු වෙලා.. දම්වැලකින් බැඳ තිබු පුද්ගල මළ සිරුරක් හමුවෙයි - මුළු රටම සංවේදී කළ හොරණ වැඩිහිටි නිවාසේ රහස් රැසක් එළිවෙයි
දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ හොරණ - බටගොඩ සෙනෙහසේ කැදැල්ල මව්පිය සෙවණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ එම වැඩිහිටි නිවසේ ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයන් ඇති බවයි.
ඒ අනුව පොලීසිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ නිවසේ ඉදිරිපස සහ පිටුපස දොරටුවල යකඩ පටි සහිත දොරවල් සවිකර ඇති බවත්, ඒවායින් පිටතට යෑමට නොහැකි ආකාරයට අගුළු දමා තිබු බවත් ය.
එසේම ගින්න හටගත් විට දී ඉන් පිටතට පැමිණීමට එහි සිටි වැඩිහිටියන් දැඩි වෙහෙසක් ගෙන ඇති බවට දක්නට ලැබුණ ද අගුළු දමා තිබීම නිසා ඉන් පිටතට පැමිණීමට නොහැකි වූ හය දෙනෙකුගේ සිරුරු නිවස ඉදිරිපිට දොරටුව අසළ තිබී හමුවු බවත් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
තවද දම්වැලකින් බැඳ තිබු පුද්ගල මළ සිරුරක් නිවසේ ජනේලයක් අසළ තිබියදී සොයාගත් බවද සඳහන්. ඊට අමතරව පොලිසිය පවසා ඇත්තේ හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට අවශ්‍ය කිසිදු ආරක්ෂක උපකරණයක් නිවස තුළ නොතිබූ අතර දැඩි නොසැලකිල්ලකින් එම නිවස පවත්වාගෙන ගොස් තිබු බවයි.
බේරගෙන ආව අම්මා කෙනෙක් මාලේ වැටිලා කියලා ආපහු දිව්වා එයත් පිච්චිලා ගියා.. දංවැල් දාලා බැඳලා තියන්නේ - අළු වූ කැඳැල්ලෙන් ඇහෙන සංවේදී කතා රැසක්
එසේම අදාළ ආයතනය පවත්වාගෙන ගිය හිමිකරු සඳහා පෙනී සිටි නීතිඥයින් මෙහිදි පවසා ඇත්තේ සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය සේවා නිලධාරීන් පැමිණ එම ස්ථානය නිරීක්ෂණ කරන බවත් ඔවුන් විසින් තබා ඇති ලොග් සටහන්වල එම ස්ථානය වසා දමන ලෙසට සටහන් කර නොමැති බවත් ය.
කෙසේ වෙතත් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ පසු මහේස්ත්‍රාත්වරිය වැඩිහිටි නිවාසය පවත්වාගෙන ගිය හිමිකරු එළඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත.
එමෙන්ම එවැනි ස්ථාන පවත්වාගෙන යාමේදී ආබාධ සහිත තැනැත්තන් ජාතික මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වුවත් ගිනි ගැනීමට ලක්වූ මෙම වැඩිහිටි නිවාසය එසේ ලියාපදිංචි කර නොමැති බවත් එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රමආරච්චි පවසා ඇත.
තවද සෙනෙහසේ කැදැල්ල මව්පිය සෙවණ වැඩිහිටි නිවාසය, එය අයත්වන මිල්ලෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද ලියපදිංචි කර නොමැති බවට තොරතුරු හෙළි වේ.
එසේම මිල්ලෙණිය ප්‍රාදේශීය ලේකම්වරිය අදාළ ආයතනය ලියාපදිංචි කරන ලෙසට අවස්ථා රැසකදීම දැනුවත් කළ බව ද වාර්තා වේ. කෙසේ වුවත් මව්පිය සෙවණ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා එම උපදෙස් පිළිපැදීම සිදුකර නොමැති බවත් ඒ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කළ බවත් මිල්ලෙණිය ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටින බව සඳහන්.
අවාසනාවන්ත ලෙස ඊයේ(03) දින පස්වරුවේ ඇති වූ මෙම ගින්නෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ 06 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
එමෙන්ම ගින්නට මැදිව මුදාගත් 51 දෙනෙකු මේ වනවිට බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා ඇති බව සඳහන්.