ආන්දෝලනයට තුඩු දුන් මහා භාණ්ඩාගාරයේ වාර්තාව මුදල් කාරක සභාවට භාර දෙයි
ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී ඇති බව වාර්තා වේ.
එම කාරක සභාව අද (04) දින රැස්වූ අවස්ථාවේදී එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ එය සියලු සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කළ බවයි.
එසේම හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම වාර්තාව පරිශීලනය කර ලබන සතියේදී ඒ සම්බන්ධයෙන් මුදල් ලේකම්වරා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මහා භාණ්ඩාගාරෙ ඩො.මි. 2.5 සොරකම ගැන වාර්තාව මගේ නිවසට එවලා පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි කියලා - හර්ෂ
කෙසේ වෙතත් මින් පෙර වාර්තා වූයේ මහා භාණ්ඩාගාරය විසින් මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට එවූ බවත් ඔහු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර නැවතත් හරවා යැවූ බවත් ය.
එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවට භාරදිය යුතු බව පවසා මෙසේ හරවා යැවීමට කටයුතු කළ බවයි.