වැටුප් විෂමතා උග්‍ර වෙයි - RDA ඉංජිනේරුවන්ගේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉංජිනේරු සංගමය පවසයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූවත්, එහිදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බව සංගමය සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ඇතුළු විවිධ රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමේ සභාපති උමේෂ් අලුතාපල මහතා සඳහන් කළේ, මාර්ග සංවර්ධන අධිකාරියේ පනතට සෘජුව අදාළ නොවන නමුත් ජාතික අවශ්‍යතා ලෙස සලකා ඉටුකරමින් සිටි කටයුතුවලින්ද ඉවත්වන බවය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතු වලට බාධා ඇතිවිය හැකි අතර, ගැටලුවට ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බවයි.