මට දැන් සත පහක ආදායමක් නෑ.. මගේ වාහනයට පෙට්‍රල් ගහන්නෙත්, ගෙවල් කුලී ගෙවන්නෙත් මගේ හිතවතුන් - දේශපාලනේට ආවැයින් වූ පාඩුව කියන රාජිත
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් තමන්ට මේ වන විට කිසිදු ස්ථාවර ආදායම් මාර්ගයක් නොමැති බවත්, තමන් ජීවත් වන්නේ මිතුරන්ගේ සහ පවුලේ උදවියගේ සහයෝගයෙන් බවත් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නාලිකාවක් සමග වූ සාකච්ඡාවකදී සිය වර්තමාන මූල්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්.
එහිදී ඔහු විසින් තමන් දැනට භාවිතා කරන වාහනය මිතුරෙකු විසින් ලබා දුන් එකක් බවත්, පදිංචිව සිටින නිවසේ කුලිය පවා ගෙවනු ලබන්නේ සිය හිතවතෙකු විසින් බවත් පැවසූ බව සඳහන්.
එසේම දේශපාලනයට පිවිසීමට පෙර තමන් මෙරට සිටි ඉතා සාර්ථක දන්ත වෛද්‍යවරයෙකු බව සිහිපත් කළ සේනාරත්න මහතා, එකල 'මිස් ශ්‍රී ලංකා' තරඟකාරියන්, ප්‍රකට නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් තමන්ගෙන් ප්‍රතිකාර ලබාගත් බවත්, එමගින් තමන් ඉතා ඉහළ ආදායමක් ඉපයූ බවත් පවසා ඇත.
එහෙත් දේශපාලනයට පිවිසීමත් සමඟ එම සියලු ආදායම් මාර්ග අහිමි කරගත් බව ඔහු පෙන්වා දෙන බව වාර්තා වේ.
"මට දැන් සත පහක ආදායමක් නෑ. මගේ බිරිඳ විශේෂඥ වෛද්‍යවරියක් නිසා ඇයට ලැබෙන විශ්‍රාම වැටුප තියෙනවා. ඒ වගේම මගේ ආච්චි අම්මාගෙන් ලැබුණු කුඩා වත්තක් තියෙනවා, ඒකෙන් යම් ආදායමක් ලැබෙනවා. අපි ජීවත් වෙන්න ඒක ඇති වුණත්, දේශපාලනය කරන්න ඒ මුදල් මදි. මගේ වාහනයට පෙට්‍රල් ගහන්නෙත්, ගෙවල් කුලී ගෙවන්නෙත් මගේ හිතවතුන්" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසූ බව සඳහන්.
ඊට අමතරව හිටපු අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ 1989 වසරේදී විජය කුමාරතුංග මහතාගේ අභාවයෙන් පසු පක්ෂයේ වගකීම් භාර ගැනීම සඳහා තමන් රජයේ රැකියාවෙන් ඉවත් වූ බවත්, එතැන් සිට දේශපාලනය වෙනුවෙන් තමන් විශාල මූල්‍යමය සහ පෞද්ගලික කැපකිරීමක් කර ඇති බවත් ය.
ඒ අනුව තමන් මහජන මුදල් සොරකම් කර නොමැති බවත්, දේශපාලනයට පැමිණීම හේතුවෙන් තමන්ට සිදු වූයේ විශාල පාඩුවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසූ බව වාර්තා වේ.