සෝනියාගේ පොතට එරෙහිව ඉන්දියාවේ විරෝධයක් - ඡායාරූප ඉරා දැමීමෙන් දේශපාලනය උණුසුම් වෙයි
ඉන්දියාවේ හිටපු කොංග්රස් නායිකා සෝනියා ගාන්ධිගේ මතක සටහන් කෘතියකට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් එරට දේශපාලන ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.
ඒ, එක්නාත් ෂින්ඩේගේ නායකත්වයෙන් යුත් ශිවසේනා පක්ෂයේ නායිකා ෂයිනා එන්.සී. (Shaina NC) විසින් ශිවසේනා පක්ෂයේ නිර්මාතෘ බාල් තැකරිගේ ඡායාරූපයක් ඉරා දැමීමේ සිදුවීමක් හේතුවෙනි.
සෝනියා ගාන්ධිගේ 'Belonging' නමැති කෘතියේ සඳහන් කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ශිවසේනා පක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

එම කෘතිය මගින් වීර් සාවර්කාර්ගේ ප්‍රතිරූපයට හානි කිරීමටත්, ඉතිහාසය වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීමටත් උත්සාහ කර ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කර තිබේ.
විරෝධතාව අතරතුර ෂයිනා එන්.සී. ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් අදාළ කෘතියේ පිටු ඉරා දමමින්, එහි 201 සහ 443 යන පිටුවල සඳහන් කරුණු ඉවත් කරන ලෙස ප්‍රකාශක සමාගමෙන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, එහිදී ෂයිනා එන්.සී. අතින් ඉරා දැමුණේ බාල් තැකරිගේ ඡායාරූපයක් බවට පසුව හඳුනාගැනීමත් සමඟ සිදුවීම දේශපාලන ආන්දෝලනයක් බවට පත්විය.
අදාළ ඡායාරූපයේ දැක්වෙන්නේ 2004 වසරේදී මනි ශංකර් අයියර්ගේ අනුරුවකට බාල් තැකරි සෙරෙප්පුවකින් පහර දෙන අවස්ථාවකි. එහිදී පක්ෂයේ සගයකු වන සංජේ නිරුපම් විසින් සිදුවූ අත්වැරදීම පෙන්වා දීමෙන් පසු ෂයිනා එන්.සී. ඉරා දැමූ ඡායාරූපය කඩිනමින් කඩදාසි අතර සඟවා තිබේ.
පසුව ඇය පැහැදිලි කර ඇත්තේ තමන් ඉරා දැමුවේ බාල් තැකරිගේ ඡායාරූපයක් නොව මනි ශංකර් අයියර්ගේ ඡායාරූපයක් බවයි. ශින්ඩේ පාර්ශ්වයේ ශිවසේනා නායකයන්ද එම පැහැදිලි කිරීම ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, උද්ගත වූ සිදුවීම සම්බන්ධයෙන් උද්ධව් තැකරිගේ නායකත්වයෙන් යුත් ශිවසේනා පාර්ශ්වය සහ කොංග්රස් පක්ෂය ෂයිනා එන්.සී. වෙත දැඩි විවේචන එල්ල කර තිබේ.
ඇමරිකානු තෙල් සංචිත ඉහළ යාමත් සමඟ ලෝක තෙල් මිල පහළට - ඒත් ඉරාන ප්‍රහාර සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම නිසා මිල අඩුවීම සීමා වුණු හැටි මෙන්න!
මුම්බායි නගර සභාවේ උද්ධව් තැකරි පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් මෙම සිදුවීමට විරෝධය පළ කරමින් සටන් පාඨ කියා ඇති අතර, ෂයිනා එන්.සී. පක්ෂයෙන් ඉවත් කරන ලෙසද ඉල්ලා තිබේ. හිටපු මුම්බායි නගරාධිපතිනි කිෂෝරි පෙඩ්නේකර් ප්‍රකාශ කර ඇත්තේ බාල් තැකරිට කරන අපහාසයක් කිසිවෙකුත් ඉවසන්නේ නැති බවයි.
එමෙන්ම ශින්ඩේ පාර්ශ්වය බාල් තැකරි කෙරෙහි දක්වන බව පවසන ආදරය ව්‍යාජ එකක් බවටද ඇය චෝදනා කර තිබේ. මේ අතර, ශින්ඩේ පාර්ශ්වයේ ශිවසේනා කණ්ඩායම් නායක අමේ ගෝලේ ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ සෝනියා ගාන්ධිගේ කෘතිය උද්ධව් තැකරි පාර්ශ්වයට 'භගවත් ගීතාව' බවට පත්ව ඇති බවයි.
ඉරා දැමූ ඡායාරූපය මනි ශංකර් අයියර්ගේ එකක් බවද ඔහු යළි අවධාරණය කර තිබේ.
සිදුවීමෙන් අනතුරුව ශිවසේනා නායක මෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති එක්නාත් ෂින්ඩේ විසින් ෂයිනා එන්.සී. කැඳවා ඇති අතර, ඇය ඔහු හමුවීමටද ගොස් තිබේ.
මේ අතර, මුම්බායි කොංග්රස් සභාපතිනි වර්ෂා ගයික්වාඩ් ද මෙම සිදුවීම විවේචනය කර තිබේ.
2004 අගෝස්තු 27 වැනිදා බාල් තැකරි විසින් වීර් සාවර්කාර්ගේ ස්මාරකය අසලදී මනි ශංකර් අයියර්ගේ අනුරුවකට සෙරෙප්පුවකින් පහර දෙමින් 'ජෝඩේ මාරෝ' විරෝධතාව ආරම්භ කර තිබූ බවද වාර්තා වේ.
එම විරෝධතාව පැවැත්වූයේ සාවර්කාර්ට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එවකට මධ්‍යම ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ මනි ශංකර් අයියර්ට එරෙහිවය.
මෙම පැරණි ඡායාරූපය වටා ඇති වූ නවතම සිදුවීම ඉන්දියාවේ ශිවසේනා පාර්ශ්ව දෙක අතර පවතින දේශපාලන මතභේදය යළිත් කරළියට ගෙන ඒමට හේතු වී තිබේ.