දරුවන්ට අලෙවි කරන අයිස්ක්‍රීම්වල ප්‍රමිතිය ගැනත් ඇමති නලින්ද කතා කරයි - කොම්පඤ්ඤවීදියේ වෙළෙඳසැලකටත් දඩයක් [VIDEO]
දරුවන් ඉලක්ක කරගනිමින් නියමිත ප්‍රමිතීන්ට පටහැනිව ආහාර අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (18) බදාදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෝෂණය ඉහළ නැංවීමට කටයුතු කරන අතරම ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බවයි.
විශේෂයෙන්ම ළමුන් ඉලක්ක කරගනිමින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ආහාර අලෙවි කරන ස්ථාන ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
එහිදී මෑතකදී සමාජයේ අවධානයට ලක්වූ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ අයිස්ක්‍රීම් වෙළෙඳසැලක් සම්බන්ධ සිදුවීමක් පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
එම වෙළෙඳසැලේ අලෙවි කළ අයිස්ක්‍රීම්වල මේද ප්‍රතිශතය සහ අවශ්‍ය මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය නියමිත ප්‍රමිතීන්ට වඩා අඩු මට්ටමක පැවති බව ඔහු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැටලීමක් සිදුකර ඇති අතර, පසුව මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබේ.
ඒ අනුව අදාළ වෙළෙඳසැලට රුපියල් 84000ක දඩ මුදලක් නියම කර ඇති බවද නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
තවද, මෙවැනි ආහාර සුරක්ෂිතතා ගැටලු සම්බන්ධයෙන් බිම් මට්ටමේ කටයුතු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටින බවත්, ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පෝෂණ ඌනතා පමණක් නොව, පෝෂණයට අහිතකර බලපෑම් ඇති කළ හැකි ආහාර සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.