අරිගතෝ ගොතයිමස්.. ජපානයත් කොර වෙන්න ලංකාව වෙනුවෙන් අශෝක රන්වල කට අරී
කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඉකුත් නොවැම්බර් 14 වැනි දින බලපිටියේදී ජපන් ආයෝජනයක් යටතේ ඉදිකළ හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බව සඳහන්.
එසේම එම උත්සවයට ජපානයේ ආයෝජකයන් පිරිසක් මෙන්ම දේශීය ව්‍යාපාරිකයන් ද සහභාගී වී ඇත. එම අවස්ථාවේදී අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන් ඇමතීම ද විශේෂත්වයක් විය.
එමෙන්ම එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් ආණ්ඩු සමයන්හිදී විදේශීය ආයෝජකයන්ට විවිධ අකටයුතුකම් සහ ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවූ බවයි.
එම කාලයේදී ඇතැම් ආයෝජකයන්ට තමන් ආයෝජනය කළ මුදල් පවා අහිමි වූ බවත්, ඒවා යළි ලබාගැනීමට නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවූ බවත් ය.
එහෙත් වත්මන් ආණ්ඩුව විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවත්, ඔවුන්ගේ සෑම යෙන් එකකටම වටිනාකමක් සහ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන බවත් රන්වල මහතා කියා ඇත.
එසේම ඔහු අවධාරණය කර ඇත්තේ ආයෝජන කටයුතු සඳහා දේශපාලනඥයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එවැනි අල්ලස් ලබාගන්නා පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.
ඊට අමතරව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, බැංකු ක්ෂේත්‍රය ඇතුළු ආයතනික ව්‍යුහයන්හි පවතින ආයෝජනවලට අහිතකර යල් පැනගිය ක්‍රමවේද වෙනස් කරමින් විදේශීය ආයෝජන වෙනුවෙන් හිතකර, ආරක්ෂිත සහ කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි.